//
උතුම් වෛද්‍ය මාතාව

සියලු සම්පත් දුගී මිනිසුන්ට කැපකර අන්ත දුගී දිවියක් ගෙවන මහා ඉසිවරිය

සියලු සම්පත් දුගී මිනිසුන්ට කැප කර අන්ත දුගී දිවියක්‌ ගෙවන මහා ඉසිවරිය සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා. කකුල් දෙකේ සත්ත්වයෝ විතරක්‌ සුවපත් වෙත්වා කියලා උන්වහන්සේ දේශනා කරල නැහැ රත්තරන් පුතේ. පන්සලකට යන්න මගෙ ඇස්‌ දෙක පෙනෙන්නෙ නැහැ. නමුත් මම පන්සිල් රකිනවා. මම මගේ ජීවිත කාලය පුරාවට අසරණ මිනිසුන්ට සරණ වුණා. මම හරිද වැරදිද දන්නෙ නැහැ. දැන් මම අසරණ සතුන්ට පිහිට වෙනවා.” වියපත් වුවත් ඒ හඬ ප්‍රබලය, පැහැදිලිය. මහවැලි සී කලාපයට පැමිණි පළමු වැනි එම්. බී. බී. එස්‌. වෛද්‍යවරිය ඇය බව තතු දත්තෝ පවසති. නමුත් මහවැලියේ ජන සමාජයට අමතක වූ ළමාරෝග විශේෂඥ වෛද්‍ය හීරලු පතිරණලාගේ විනීතා රංජනී ගුණවර්ධන ප්‍රනාන්දු නම් වූ ඇය අද දිඹුලාගල, කජුවත්තේ කැලෑවක්‌ මැද මෙසේ හුදෙකලා වී සිටින්නීය. කලක්‌ මහවැලි කලාපයේ නොදරුවන් සුවපත් කළ මේ ඉසිවර වෙදැදුරුවරියට අපේ දුර්ගුණ පිරි සමාජය කෘතගුණ සලකා නැත. අද ඇය හුදෙකලාව සිටින්නීය. යුතුකමක්‌ ලෙස හෝ මේ සමාජය විසින් සෙනෙහස, රැකවරණය සැපයිය යුතුව තිබූ ඇයට මේ මොහොත වන විට ඒ අඩුව සම්පූර්ණ කරන්නේ බල්ලන් තිහක්‌ සහ පූසන් පහළොස්‌ දෙනෙකි. ඇගේ පන්තියේ වෘත්තිකයන් මහ පොළොවේ පය නොතබා අමුතු සමාජ ප්‍රාකාර තනාගෙන සිටිද්දී මිනිසුන් අතර හි`දිමින්, මිනිසුන් අතර ජීවිතේ අවසාන සමය දිය කර හරින මේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරිය සොයාගෙන අපි ගියෙමු. දෙහිඅත්තකණ්‌ඩියේ සිට අරලගංවිලට යන මාර්ගයේ කිලෝමීටර දොළහක්‌ පමණ ගිය තැන හමුවන අතහැර දමා ඇති කජුවත්ත මහවැලි කොට්‌ඨාස කළමනාකරණ කාර්යාලයේ පැරණි ගබඩා කාමරය දැන් ඇගේ ස්‌ථිර නවාතැනය. ගබඩා කාමරය වටා ගරාවැටුණු ගොඩනැඟිලිය. හතරවටම ඝණ කැලෑවය. අපි අසීරුවෙන් එතැනට ළගාවෙමින් සිටියෙමු. එක්‌වරම ගොරවාගෙන හපන්නට පනින බලු රැළක්‌ මතුව ආවෝය. ඔවුන්ට ඉංග්‍රීසි බසින් අණක්‌ ලැබිණි. ඒ අණ පිළිගෙන බලුරැළ නිහඩව පසු බැස ගියහ. ජනේලයක්‌ නැති පාළු කාමරය අදුරු ගල් ගුහාවක්‌ වැනිය. දොරක්‌ නැති කාමරය චීත්තරෙද්දකින් ආවරණය කර තිබෙන්නේය. ඇය සන්තක වූ වටිනාම ගෘහ උපකරණය ලෑලි කැලි කීපයකින් තැනූ ඇ`දයි. ඇ`ද වටකොට ඇති පුටු කීපය බළලුන්ගේ නවාතැන්ය. මේ ගුප්ත පෙනුමැති නිවහන පසුබිමේ පසන් සිනාවකින් මුව සරසාගෙන සිටිනා මේ වියපත් වෛද්‍යවරිය අප තිගස්‌වන්නීය. මෙවැනි චරිත අප දකින්නේ සම්භාව්‍ය සිනමා කෘතිවලය. නවකතාවලය. අප වැනි රටක මහා සමාජ ගාම්භීරත්වයක්‌ සහිත වෘත්තියක්‌ මනුෂ්‍යයන් වෙනුවෙන් කළමුත් ඒ ගාම්භීර සමාජයේ දොරටු විවෘත කර නොගත් මේ වියපත් මාතාව හුවූදකලා වී ඇති ආකාරය දකින විට අප කම්පනයට පත්වන්නේය. ඇය හා මොහොතක සල්ලාපයෙන් පසු ඇය අපට ඇයගේ අතීතය කියන්නට වුවාය. ඒ සංවේදනීය කතාව ඇගේ හ`ඩින්ම කියෑවෙන්නේ මෙසේය. “මගේ තාත්තා හීරලු පතිරණලාගේ ගුණවර්ධන. එයාගේ ගම ගම්පහ. අම්මා ලීලා වයලට්‌ පෙරේරා. තාත්තා ඉංග්‍රීසි ආණ්‌ඩුව කාලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චීෆ් ක්‌ලාක්‌ කෙනෙක්‌ විදිහට සේවය කළා. රැකියාවේ පහසුව නිසා තාත්තා ගම්පහ ඉඩම් නෑදෑයින්ට දීලා කොළඹ පදිංචියට ඇවිත් තිබුණා. මට මතක පුංචිකාලේ පදිංචිවෙලා හිටියේ කොළඹ කුරු`දුවත්තෙ. මම ඉගෙන ගත්තේ සී. එම්. එස්‌. ලේඩීස්‌ කොලෙඡ් එකේ. එම්. බී. බී. එස්‌. සිලෝන් සම්පූර්ණ කරලා අවුරුද්දක පුහුණුවකට හොස්‌පිට්‌ල් එකේ ඉන්නකොට සිද්ධ වුණු අමතක නොවන සිදුවීම තමයි වෙඩි වැදුණු බණ්‌ඩාරනායක අගමැති තුමාට ප්‍රතිකාර කරන්න අවස්‌ථාව ලැබීම. පී. ආර්. ඇන්තනීස්‌ මහත්තයා අගමැති තුමාගෙන් ඇහුවා මොකද වුණේ කියලා. එතුමා කිව්වා “නූගත්, සිවුරක්‌ දාගත්තු මිනිහෙක්‌ මට වෙඩි තිබ්බා” කියලා. මගේ පළමු පත්වීම ලැබුණේ රිඡ්වේ ආර්යා එකට. ඊට පස්‌සේ කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක්‌ විදිහට සේවය කළා. ඒ කාලේ අපේ ආච්චි අම්මා නිතර නිතර මහියංගනේ වන්දනාවේ ආවා. එයා කියන විස්‌තර ඇහුවම මටත් හිතුණා, කවදාහරි දවසක ඈත දුෂ්කර පලාතක ටික කාලයක්‌ සේවය කරන්න ඕනෑ කියලා. පුංචි කාලේ ඉඳන් මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් කියෙව්වා. ඒ පොත්වල ගමේ සුන්දරත්වය විස්‌තර කරල තිබුණු විදිහට කොළඹ හැදුණු මට ගමක ජීවත්වෙන්න තියෙනවා නම් කියල හිතුණා. මම විවාහ වුණේ ප්‍රනාන්දු කියලා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්‌ එක්‌ක. අපි දෙන්නගෙ කැදැල්ලට දරුවො නැති වුණු නිසා මහත්තයාගේ නෑදෑවෙන කෙනෙක්‌ගෙ දරුවෙකුට අපි ඉගැන්නුවා. එයා ඉංජිනේරු විභාගය කරලා ඉංජිනියර් කෙනෙක්‌ මැරි කරලා ඔස්‌ටේ්‍රලියාවට පදිංචියට ගියා. ඒ වෙනකොට අම්මා තාත්තා දෙන්නත් නැතිවෙලා. මගේ අක්‌කත් ඩොක්‌ටර් කෙනෙක්‌. එයා ඇමරිකාවේ පදිංචියට ගිහිං. නංගී ඉන්දියන් ඩොක්‌ටර් කෙනෙක්‌ බැ`දලා ඉන්දියාවේ පදිංචියට ගියා. ඒ අතරෙ මහත්තයත් හදිසියෙ අන්ත්‍රා වුණා. මම තනි වුණා. දුෂ්කර පළාතකට එන්න ඒකත් එක හේතුවක්‌ වුණා. කොහොමහරි මගේ මතකයේ හැටියට ඩී. සී. එච්. සහ ඩී.සී.එම්. කරලා අවුරුදු තුකකට ස්‌ථාන මාරුවක්‌ ඉල්ලලා ගිරාඳුරුකෝට්‌ටේට ආවේ 1981 දී. එතකොට ගිරා`දුරුකෝට්‌ටේ රෝහලක්‌ නැහැ. මහවැලි ව්‍යාපාරය පටන් ගත්තු මුල් ම කාලේ නිසා හරිම දුෂ්කරයි. මුල් කාලේ ගමින් ගමට ගිහිං මම ගස්‌යට ඉ`දන් තමයි, ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේ. අවුරුදු තුන ඉවරවෙලා ආපහු කොළඹට යන්න හදනකොට තමයි දැනගත්තේ මම බලන්නේ නැතුව අත්සන් කරලා ඇවිත් තියෙන්නේ ස්‌ථිර මාරුවීමක්‌ කියලා. ඊට පස්‌සේ මම දිගටම මෙහෙ ඉන්න තීරණය කළා. මහත්තයාගේ දේපල සේරම නෑදෑයින්ට දුන්නා. ඒ කිසි කෙනෙක්‌ අද මම දිහා බලන්නේ නැහැ. පුතා නම් එහෙ පදිංචියට එන්න කිව්වා. නමුත් මම මගේ රට දාලා යන්න කැමැති වුණේ නැහැ. මම මහවැලි බී සහ සී කලාපවල ගමින් ගමට ගිහිං බෙහෙත් දුන්නා. ඒ දවස්‌වල මට මහවැලියෙන් වාහනයක්‌ ඩ්‍රයිවර් කෙනෙක්‌ එක්‌ක දීලා තිබුණා. ක්‌වාටස්‌ එකක්‌ දුන්නා. සමහර විට මම ගෙවල් වලට මහ රෑ ගිහිං අසාධ්‍යව හිටපු ගැබිනි මවුවරු, ළදරුවෝ මාරයාගෙන් ගලවා ගත්තු අවස්‌ථා අප්‍රමාණයි. රංජිත් පෙරේරා, ඉන්ද්‍රසේකර ද සිල්වා වගේ මේ පළාතේ වැඩ කරපු මහවැලියෙ උසස්‌ නිලධාරි මහත්තුරු මම කළ සේවය ගැන දන්නවා. ඒ අයත් මට උදව් කළා. ඒ කාලෙ මේ දැන් වගේ දියුණු පහසුකම් සහිත හොස්‌පිට්‌ල්, ඩිස්‌පෙන්සරි තිබුණෙ නැහැ. මැලේරියාව හැදුණු ලෙඩ්ඩු පෝළිමේ ඉන්නවා මගෙන් බෙහෙත් ගන්න. මම උදේ පාන්දර පටන් ගත්තම රෑ වෙනතුරු බෙහෙත් දුන්නා. වැලිකන්දෙ, තොප්පිගල දෙමළ ගම්මානවලටත් මම බෙහෙත් දුන්නා. සමහර දවස්‌වලට කොටි නායිකාවොත් මගෙන් බෙහෙත් අරන් යනවා. රැකියාව කරන කාලෙ මම ගත්තු පඩියෙන් දුප්පත් මිනිසුන්ට කිරි හරක්‌ අරං දුන්නා. කන්න අ`දින්න අරන් දුන්නා. මගෙ මුළු ජීවිතේම කැප කළේ අන්ත අසරණ දිළි`දු මිනිසුන් වෙනුවෙන්. අද ඒ ගොඩාක්‌ දෙනෙක්‌ ධනවතුන්. අද මේ පාළු ගබඩා කාමරේ ඉන්න මගෙ තනියට ඉන්නේ මේ බල්ලො, බළල්ලු ටික දෙනා විතරයි. මේ කාමරේ තෙමෙනකොට වෙහෙරගල බී. එම්. නෝනා මහවැලියෙ කීපදෙනෙක්‌ එවලා වහළෙ හදලා දුන්නා. ඒ නෝනා සතියකට, දෙකකට වතාවක්‌ මේ කාමරේ අවට පිරිසිදු කරන්නත් කීප දෙනෙක්‌ එවනවා.” තවත් ඇයට මහවැලියෙන් උදවු කරන බව ඇය කියන්නේ එසේය. “මට බණ අහන්න රේඩියෝ එකක්‌ නැහැ. කරන්ට්‌ එක නැහැ. මේක මම පූරුවේ කළ පවක්‌. අපි පවු කරලා තියෙනවා නම් ඒවා ගෙවන්න එපායෑ රත්තරන් පුතේ. මගෙ පෙන්ෂන් එක විසිහතර දහකට කිට්‌ටුව එනවා. ඒක වැඩිපුර වියදම් කරන්නේ සත්තු වෙනුවෙන්. අහිංසක සත්තු බඩගින්නෙ ඉද්දි මට කන්න හිතෙන්නෙ නැහැ පුතේ. මේ පළාතේ සමහර මිනිස්‌සු ආබාධිත වුණු සත්තු මගෙ ගෙදරට ගෙනැත් දාලා යනවා. ඉතිං මේ සතා බඩගින්නේ මියෑදෙනවා බලා ඉන්න බැහැනේ. මම බෙහෙත් කරනවා. කන්න දෙනවා. ඉතිං එහෙම හිතවත් වුණාම මේ සත්තු මාව දාල යන්නේ නැහැ.” “මට දරුවො නැති වුණාට මාව බලාගන්න ළ`ග ගෙදරක කෙනෙක්‌ ඉන්නවා. එයා නන්දාවතී. එයාටත් දැන් අවුරුදු හැට හතරයි. එයාගෙ දරුවො දෙන්නා කසාද බැ`දලා ඈතක පදිංචිවෙලා ඉන්නේ. එයාගෙ මහත්තයට අංශභාගය. මම උදේම එයාලගේ ගෙදරට ගියාම මට කිරි එක හදලා දීලා මූණ කට සෝදා ගන්න උණුවතුර දෙනවා. ඊට පස්‌සේ එයා මට කෑම දෙනවා. කෑම කාල ඉවරවෙලා අපි දෙන්නම ඇවිත් සත්තුන්ට කෑම දෙනවා. ඊට පස්‌සේ නන්දා දුව වතුර උණු කරලා පොඩි දරුවෙක්‌ වගේ මාව නාවනවා. නාවලා මට පිරිසිදු ඇ`දුම් අන්දවලා එයාගේ මහත්තයා නාවනවා. ඊට පස්‌සේ අපි දෙන්නගෙම රෙදි හෝදනවා. එයා මට බණ අහන්න එයාගෙ රේඩියෝව දාලදීලා ඇවිත් සමහර දවස්‌ වලට බල්ලො නාවලා පිරිසුදු කරනවා. මගෙ කාමරෙත් අස්‌ කරලා ගිහිං නාලා එයා දවල්ට අපිට කෑම හදනවා. එයා රසට කෑම හදනවා. නිතරම මට අලුත් එළවළු පලතුරු දෙනවා. ඒ නිසා මම නිරෝගීව ඉන්නවා. බල්ලන්ට මස්‌ මාළු හදනවා.” “මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මන්ත්‍රී කාලෙ ඉ`දන් මම හො`දටම දන්නවා. එයා මම ගමින් ගමට ගිහිං බෙහෙත් දෙන එක ගැන ඒ දවස්‌ වල මට බොහොම ප්‍රශංසා කළා. අනේ පුතේ, මගේ එක අහැක්‌ දැන් පෙනීම හො`දටම අඩුයි. මෛත්‍රීපාල ඇමැතිතුමාට කියන්නකො මගේ ඇහැට කාචයක්‌ දාලා පෙනීම දෙන්න කියලා. මගෙ වයස දැන් අවුරුදු අසූ එකයි. මගේ දැන් ආසාව ඉන්න තැනක්‌ පිළිවෙළක්‌ කරගෙන දරුවන්ට ඉංග්‍රීසි ටිකක්‌ උගන්වගෙන සත්තුන්ටත් සලකගෙන ඉන්න එක. මම විශේaෂඥ වෛද්‍යවරියක්‌ වුණත්, මගේ ජීවිතේ කවදාවත් ලෙඩෙක්‌ගෙන් බෙහෙත් දීලා එක රුපියලක්‌ අරන් නැහැ. මම වැඩ කරපු කාලෙ හම්බ කරපු සේරම ඒ නතරවෙලා හිටිය ගෙවල් වලට දීලා ආවා. අද මට තියෙන්නෙ ලෑලි ඇ`දයි. ඇ`දුම් ටිකයි විතරයි. මගේ ජීවිතේ හරි සැහැල්ලුයි. වස්‌තුව දේපල හම්බ කළාට මේ කිසි දෙයක්‌ අපි අරගෙන යන්නෙ නැහැනේ. අපි අරන් යන්නේ කරන කුසල කර්ම විතරයි. ඒ ගැන අද මිනිස්‌සු හිතන්නෙ නැහැ රත්තරං පුතේ.” දස මස කුස දරා තමා මෙලොවට බිහිකළ මව නොවුණත් ඒ තරමටම සෙනෙහසින් මේ මවුතුමියට උවටැන් කරන නන්දාවතී ද කලක්‌ දොස්‌තර නෝනා සමග ස්‌වෙච්ඡා සේවයට ගිය බව පැවසුවාය. “කජුවත්ත මෙඩිකල් සෙන්ටර් එකේ දොස්‌තර නෝනා කිව්වම හැමෝම දන්නවා. මම මේ නෝන එක්‌ක මහවැලි බී, සී කලාප වල හැම ගමකම ගිහිං තියෙනවා. එක දවසක්‌ වැලිකන්දේ කෙළවරක දෙමළ ගමකට ගිහිං ප්‍රතිකාර කරල එනකොට කොටි අපේ වාහනය නතර කළා. අපේ වාහනේ ගහල තිබුණු රතුපාට කුරුස ලකුණ කොඩිය යනකොට වැටිල. එයාල ඒක අහුලලා අපිට දුන්නා. මෙතුමියට හො`දට සිහි කල්පනාව තියෙනවා. දොස්‌තර නෝනා ළ`ග පහුගිය දවස්‌වල බල්ලො තිහක්‌ හිටියා. දැන් ඉන්නේ අට දෙනයි. පූසෝ පහළොවක්‌ ඉන්නවා. මෙයා සත්තුන්ට හරිම ආදරෙයි. කවුරු හරි කාමර දෙකක්‌ නාන කාමරයකුත් එක්‌ක හදලා කරන්ට්‌ එක, වතුර ටික අරං දෙනවා නම් ලොකු පිනක්‌. මේ සත්තුන්ටත් ඉන්න කූඩුවක්‌ හදලා දුන්නොත් මට පුළුවන් නෝනාත්. සත්තු ටිකත් රැක බලා ගන්න. මහවැලියේ මේ නෝනගෙන් බෙහෙත් ගත්ත දහස්‌ ගණනක්‌ මිනිස්‌සු වෙනුවෙන් මම ඒ යුතුකම ඉටු කරන්නම්.” නන්දාවතී හැ`ගුම්බරව පැවසුවා අප නිරුත්තරව හි`දිමු. තවත් මොනවා කියන්නදැයි අපට නම් වැටහෙන්නේ නැත. මේ කතාව අසා සිටින අයෙක්‌ ඇයට මානසික රෝගයක්‌ ඇතැයි කියනු ඇත. පිරුණු අසූ එක්‌ වියෑති ඇය මේ මොහොත වන විටත් ඉතා යහපත් එළඹි සිහියෙන් දිවි ගෙවන්නීය. අපට අරුමයක්‌ සේ පෙනෙන්නේ අපේ කාලයේ මනුෂ්‍යයකුට සිතාගන්නටවත් නොහැකි ඇය විසින් තෘෂ්ණාව ප්‍රහීන කර උපදවාගත් මුනිවර මානසිකත්වයේ ප්‍රමාණයය. සැබෑ අත්හැරීමේ අත්දැකීමය. ඇය විශේෂඥ වෛද්‍යවරියකි. කොළඹ කුරු`දු වත්තේ ජීවත්වී, කාන්තා විද්‍යාලයේ ඉගෙනගෙන, විශේෂඥ වෛද්‍යවරියක්‌ වූ තැනැත්තියකි. ඇත්තනම් අද රටේ සිටිනා බොහෝ මහේශාක්‍ය වෘත්තිකයන්ට මේ සමාජ පසුබිම නැත. අරලගංවිලින්, ගලෙන්බි`දුණු වැවෙන්, මහවැලි කලාප වලින් පැමිණ ප්‍රභූ සමාජයේ දොරටු ආයාසයෙන් විවර කරගත්තවුන් ස්‌වකීය ජීවිතවල ඇරියස්‌ කවර් කරගන්නට මහා යුද්ධයක්‌ කරනා විට ඇය ඒ සුඛෝපභෝගී සමාජය හැර ස්‌වකීය දැනුම මිටින් ගෙන මහවැලි කලාපයේ දුගී මිනිසුන් සොයා ගියාය. විශේෂඥ වෛද්‍යවරියක්‌ වුවත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ස`දහා රුපියලක මුදලක්‌ අයකර තිබුණේ නැත. මේ ඉසිවර වෛද්‍යවරිය දැන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන හො`දින්ම දන්නා, කලෙක මහවැලි කලාපයේ මිනිසුන්ගේ ජීවිතවල සිට ප්‍රභූ කාන්තාවකි. මේ වනවිට ඇය මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන බලප්‍රදේශයේ හුදෙකලා මහවැලි ගබඩාවක අන්ත අසරණව දිවි ගෙවන්නීය. මහා සු‚ සුවපත් දිවියෙන් අභිනිෂ්ක්‍රමණය කර පැමිණ දුගී දුප්පත් අසරණයන් වෙනුවෙන් කැප කළ ජීවිතය පිළිබ`ද ඇයට අබමල් රේණුවක පසුතැවීමක්‌ නැත. එහෙත් අප කම්පා කරන්නේ අප වේදනාවට පත්කරන්නේ ඒ කළගුණ නොදත් තුප්පහි සමාජය ඇය අත්හැර දා ඇති ආකාරය ගැනය. ඒ සමාජය වෙනුවෙන් කළ කැපකිරීමට යළිත් ඇයට සමාජයෙන් ලැබී ඇති දේ ගැනය. එහෙත් මේ මුළු රටම වෙනුවෙන් ඇය රැක බලාගන්නට කැපව සිටින නන්දාවතී අම්මා ගැන අප්‍රමාණ ගෞරවයක්‌ උපදින්නේය. ඒ ගෞරවය මේ වියපත් වෛද්‍ය මාතාව කෙරෙහි උපදිනා ගෞරවයට බි`දක්‌ හෝ අඩු වන්නේ නැත. මක්‌නිසාද යත් උන්දෑ විසින් හුදෙකලාව මේ වන විට ඉටු කරමින් සිටින්නේ රටක්‌ ඉටු කළ යුතු මහා යුතුකමක්‌ නිසාය. (දිවයින) ප්‍රසන්න සිල්වා දෙහිඅත්තකණ්‌ඩිය – රණතුංග ආලෝකය සටහන : වැඩි පඩි,වරප්‍රසාද වෙනුවෙන් අසරණ රෝගී ජීවිත බිල්ලට ගෙන වැඩ වර්ජන කරමින් ජනතාව පෙළන, තමන් වෙත එන අසරණයින් නොසලකා හරිමින් හා ඔවුන්ගේ ජීවිත බිලි ගනිමින් සිටින වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශත් සිටින යුගයක මෙවැනි උතුම් වෛද්‍ය මාතාවක් පිළිබඳව අසන්නට ලැබීම ඇත්තටම භාග්‍යකි. රාජකාරියකට එහා යමින් ඉසිවර මාතාවක් ලෙස ඇය කර ඇති සේවය අමිලය.උදාරය.සම්මාන ඇගයීම් හිමිවිය යුත්තේ රටට ශ්‍රී ලාංකික ජාතියට අතිමහත් සේවයක් කළ මෙවන් මාතාවන්ටය. සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය මෙතුමිය වෙත ලැබී ඇගේ බලාපොරොත්තු ඉටුවේවායැයි පතමු. එතුමිය ගැන තොරතුරු සොයා ගොස් ඔබ අප වෙත ගෙන ආ ‘දිවයින’ මාධ්‍යවේදීන්ට ප්‍රණාමය පළකරමු.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: