//
you're reading...
Buddhism

බුදු සිරිත ඇසුරෙන් රචිත නව ප්‍රබන්ධය ප්‍රේමයේ දුක්‌ සිඳ ඈ නුවන් ලද්දීය

බුදු සිරිත ඇසුරෙන් රචිත නව ප්‍රබන්ධය
ප්‍රේමයේ දුක්‌ සිඳ ඈ නුවන් ලද්දීය

source:

ඡේතවනාරාමයට පිවිසෙන දොරටුව අබියස සිටි සියල්ලෝ ම මී මැසි පොදියක්‌ සේ කැළඹුණාහු සිහි විකල්ව මෙන් දිව ආ නන්නාඳුනන ගැහැනිය නිසා ය. ඕ කොහි සිට එන්නීද, කොතැනකට යන්නී ද යන වගක්‌ කිසිවෙක්‌ නො දත්හ. ඇතැම් කෙනෙක්‌ ඕ දෙස බැලුවාහු මේ මාගම් සෝලියකට එවන ලද ලියක්‌ සේ ය. එයට සාධාරණ හේතු ද විය. ඒ මෙයට පෙර දර මිටියක්‌ ද කුසට බැඳගෙන බුදුන් වහන්සේට නිගා දෙන්නට පැමිණ චිංචිමානවිකාව නිසා ය. එහෙත් තවත් කෙනෙක්‌ කීවෝ මෑ හෙරක්‌ විය හැකි බව ය. මෙබඳු සැක සංකා ඇය වටා වැපිරුණ ද කිසිවෙක්‌ ඇයට හිංසා නොකළහ. සමහරු ඇගේ වත ගොත විමසමින් ඇය වෙහෙස වූහ. එහෙත් ඇගේ මුවින් එකම වදනක්‌ හෝ පිට නොවීය. බිම බලාගත් වනම සිටි ඇය කෙරෙන් පලවූයේ දැඩි වෙහෙසකාරී බවකි. ඇගේ වස්‌ත්‍ර ඉරී ගොසින්ය. සිරුරෙහි තන්හි තන්හි රත් පැහැ ඉදිමුම් දක්‌නට ලැබිණි. එනිසාම ඇය කෙරෙහි අනුකම්පාවක්‌ ද ඇතිවිය.

ආරාම පරිශ්‍රයෙහි සක්‌මන් කරමින් සිටි ආනන්ද හිමියන්ට ද දොරටුව අසලින් නැගෙන ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ සෙමින් එදෙසට ගමන් කරනු දුටු පිරිස සන්සුන් වූහ. ඒ සැණකින් ම එහි සිටි ගැහැනිය ඡේතවනාරාමය ඇතුළට දිව ගියාය. පිරිස ඇය ලුහුබැඳ එනු දුටු ආනන්ද හිමියෝ ඔවුන් නතර කළහ. ගැහැනිය පසු නොබලාම දිව ගොස්‌ බුදුන් වහන්සේ දහම් දෙසමින් සිටි දහම් මණ්‌ඩපය අබියස නතර වූවාය. බුදුහු ඇය පිළිබඳ සියලු තතු දැන සිටි සේක්‌ ඇයට පිහිට වියයුතු බව ද නිශ්චය කර ගෙන සිටියහ. තවමත් ඇයට පියවි සිහිය නැත. දහම් අසමින් සිටි පිරිස මැදින් බුදුන් වහන්සේ අසලටම දිව ගිය ඕ හාත්පස බැලුවාය. පිරිස අතරින් නැගී සිටි අයෙක්‌ ඇය ඉදිරියට එනු දුටු බුදුන් වහන්සේ මෙසේ වදාළහ.

“ඇයට ඉඩ දෙන්න. ඇය විපත් වැලකට මුහුණ දුන් අසරණ ලියක්‌. ඇයට මේ මිහිමත කිසිවක්‌ ඉතිරි වී නෑ. ඇගේ සැමියා මියගියා. දරුවන් අහිමි වුණා. දෙමවුපියන් දැක ගැනීමට පැමිණි ඇය දුටුවේ ඔවුන්ගේ සොහොනයි. කෙසේද එවන් දුක්‌ කන්දක්‌ මෙවන් සියුමැලි ලියක්‌ විඳගන්නී.”

බුදුන් වහන්සේගේ ඒ අනාවරණය රැස්‌ව සිටි පිරිස තවත් කුතුහලයට පත් කරන්නක්‌ම විය. මේසා රුදුරු වියෝ දුකක්‌ මේ සුකුමාර ලිය දරා ගෙන ඒ අයුරින් සිටීම ගැන ද කෙනෙක්‌ විස්‌මයට පත් වුහ. ජීවිතය යනු සරදම් දෛවයක්‌ බව ද තවත් කෙනෙක්‌ කල්පනා කළහ. බුදුහු යළිත් කරුණාබර වදනින් ඇය ඇමතූහ.

නැඟණිය ඔබ පත්ව සිටින දුක මට හොඳින් වැටෙහෙනවා. ඔබ රස තෘෂ්ණාවෙහි බැඳුණු මුවැත්තියක්‌. ඒ රසයෙහි ලොල්ව ජීවිතය එයමැයි සිතා එළියෙන් අඳුරටම ඇදුණු බාල ලියක්‌, යෞවනය ඔබට නපුරු වූවා යෑයි ඔබ නොසිතන්න. එය ඔබ වරද නොව මේ සසරෙහිම වරදයි. ජාති, ජරා, මරණ, ව්‍යාධි යන සියලු දුක්‌ සිඳ දමන තෙක්‌ කිසිවකුට සුවයක්‌ නැත. ඔබ සැපත සේ ගත් සියල්ල විපතට ද මුල් වූ අයුරු සිහි කරන්න. පසිඳුරන්ගේ අරමුණ සුඛයක්‌ සේ ගන්නා සත්ත්වයා නිබඳ දුකට පත් වන්නේය. මේ ලොව සියල්ල වෙනස්‌ වන ස්‌වභාව ඇත්තේ ය. දැන් ඔබ ඒ යථාර්ථය අත්විඳ සිටින. එයින්ම වේදනාවට පත්ව සිටින දුකට පත් ලියකි. එදුක දුරු කළ හැක්‌කේ ද ඔබට පමණි. ඔබ දිරියෙන් වීර්යෙන් අඳුර හැර එළිය දෙසට යැමට අධිෂ්ඨාන කර ගන්න.

බුදුන් වහන්සේගේ වචන ඇගේ සිතට අපමණ සහනයක්‌ විය. හද පුරා නැගුණු ගිනිදැල් නිවී යන වග ඇයට හැඟුනි. ඇගේ මනස තුළ වූ මායාරූපය බිඳී යත්ම කෙමෙන් ඇය පියවි ලොව දුටුවාය. තමාගේ සිරුරට ප්‍රමාණවත් තරම් වස්‌ත්‍රයක්‌වත් නොමැති බව ඇයට පසක්‌ වූයේ එවිටය. විලි බිය පිළිබඳ සිතිවිල්ල ඇගේ සිත වසා ගනිද්දී ඇය තවත් වටපිට බැලුවේ සමාව අයදින්නාක්‌ වැනි හැඟීමකින්ය. යළිත් ඇය දෙසට සළුවක්‌ වැටුණි. ඇය එය රැගෙන සිරුර වටා රඳවා ගත්තීය. තවත් සළුවක්‌ ඇයට ලැබුණි. ඕ එයද දැතින්ම රැගෙන මුළු ගතම වසා ගත්තාය. අනතුරුව බුදුන් වහන්සේට නමස්‌කාර කළාය.

“ඔබවහන්සේගේ කරුණාව ලද මගේ දුබල සිත ප්‍රබල විය. මා සිත තුළ වූ මායාරූපය බිඳිණි. එසැණින් එහි වූ අඳුර ද පහවිය. දැන් මට මගේ අතීතය සිහිවෙයි. මා ලද මුලාව කෙබඳු දැයි පසක්‌ වෙයි. මහා කාරුණිකයන් වහන්ස, ස්‌ත්‍රීහු නම් ස්‌වභාවයෙන් ම විපත් සොයා යන්නාහු යෑයි ද මට හැඟෙයි. මවිසින් වැරදි කොණින් අල්ලා ගන්නා ලද ජීවිතය මට ලබා දුන් පාඩම ඉතා බලවත් ය. දැන් මම මගේ විමුක්‌තිය අසලම රැඳී සිටිමි. මට පිහිට වුව මැනවි. මේ මිහිපිට මගේ යෑයි කිසිවක්‌ හෝ කිසිවෙක්‌ ද නොවෙති. මට වුවමනා අලුත් ජීවිතයකි. මට එය ලබා දුන මැනවි.

බුදුන් වහන්සේ ආනන්ද හිමියන් කැඳවා ඇය මෙහෙණි සස්‌නට බාර කරන ලෙස උපදෙස්‌ දුන් සේක.

මේ සියල්ල දෙස විස්‌මයෙන් බලා සිටිනු විනා අගක්‌ මුලක්‌ තෝරා බේරා දැන ගැනීමට සමත් කිසිවෙක්‌ ද නොවූහ. එසඳ බුදුන් වහන්සේ ඇගේ සියලු තතු ඒ පිරිසට සැල කරන්නට වූහ.

ආදරය හා ප්‍රේමය යනු මේ මහ පොළොව මත තිබෙන උතුම් ධර්මතාවන් දෙකක්‌. එය නිවැරදිව නුවණින් දකින අය ඉතා අල්පයහ. මේ රුසිරු ලිය ඒ ආදරය හා ප්‍රේමය වෙනුවෙන් ජීවිතයම කැප කළා. අවසානයේ එය සෝකයක්‌ බවට පෙරළී ඇය උමතු භාවයට පත් කළා. මේ හැම දෙයකම මුල් සොයා යන විට පෙනී යන දෙයක්‌ තිබෙනවා. එය තෘෂ්ණාවයි. තණ්‌හාව සෝකයට මුල බව මැය අද ඔබට තහවුරු කර තිබෙනවා. බලන්න ඇය දෙස. ඇය මෙබඳු ගැහැට විඳියයුතු ලියක්‌ නොවෙයි. සුකුමාර ජීවිතයක්‌ උපතින්ම ලද ඇය ප්‍රේමයෙන්, ආදරයෙන් අන්ධ වී ගොස්‌ මුහුණ දුන් අඳුරු ඉරණම ඔබට පැහැදිලි වේවි. මේ දුක නැති කිරීමේ මාවතට ඇය යොමු කිරීමට හැකි වූයේ පෙර කරන ලද පින් මහිමය නිසායි.

පිරිස තවත් කුතුහලයටම පත්වූහ. ඕ නමින් පටාචාරා වූවාය. හතළිස්‌ කෙළක්‌ ධනැති මහා සිටු මැඳුරක එකම දියණිය ලෙස උපන්නී ඇය කිසි විටෙක දුකක්‌ තබා දුක යන වදනවත් නොඇසූ භාග්‍යවන්ත සිටු කුමාරියකි. වැඩෙන දියණිය රුසිරෙන් ද කාරුණික ගුණයෙන් ද යුතු වග මවුපියෝ දැන සිටියහ. එහෙත් සමාජ මතු මහල මුදුනෙහි වැජඹෙනා සිටු දෙමහල්ලෝ ඇගේ නිදහසට යම් සීමාවන් ද පැනවූහ. ඒ අසතුටකින් නොව ඇයගේම යහපතටය. සිටු මැදුරට එන දිළිඳු පවුල්වල දරු දැරියන් සමඟ තම දියණිය කුළුපඟව හැසිරෙන වග ද ඔව්හු දැන සිටියහ. ඇය ගැන තතු සෙවීමටත් ඇය රැක ගැනීමටත් බාර වූයේ තරමක්‌ වියෑති සේවිකාවන් දෙදෙනකුටය. ඔවුහු සිටු පවුලේ පාරම්පරික සේවක පවුල්වලින්ම එන්නෝය.

පටාචාරාගේ කුදු මහත් හැම කාර්යක්‌ සඳහා ම විවිධ සේවිකාවෝ වූහ. ඇයට ශිල්ප ශාස්‌ත්‍ර ලබාදීම වියපත් බ්‍රාහ්මණයකුට පවරා තිබිණි. ඕ ස්‌වභාවයෙන් ම ගැඹුරු විෂය කරුණු ඉගෙනීමට ප්‍රිය නොවූවාය. ඇය වඩාත් උනන්දු වූයේ සංගීත හා නර්තනය කෙරහි ය. එහෙත් සංගීත නර්තනාදිය ප්‍රභූ ලියන්ට කුමට දැයි ඇගේ මවුපියෝ ද විමසූහ. එසේ වුවද ඇය කෙරෙහි වූ ස්‌නේහය නිසාම ඒ අවසරය ලබා දුන්හ.

සිටු මැදුරේ සියලු සේවකයෝ ද සේවිකාවෝ ද ඇයට මහත් සේ ඇලුම් කළහ. කිසි විටෙක ඇයගේ මුවගට රළු පරළු වදනක්‌ හෝ නොඑයි. ඇය කෝපයට පත්ව සිටිනු හෝ කිසිවකුට දොසක්‌ නඟන අවස්‌ථාවක්‌ හෝ කිසිවෙක්‌ නොදුටහ. ඇගේ එකී මුදු ගුණය දෙමවුපියන් පමණක්‌ නොව පවුලේ සමීපතමයෝ ද දැන සිටියහ. ඇතැම් වැඩිහිටියෙක්‌ ඇයට දී තිබෙන නිදහස වැඩි බව ද කීහ. එහෙත් සැහැල්ලුවෙන් ඇය ගෙවන ජීවිතයට බාධා කිරීමට මවුපියන්ට අවශ්‍ය වූයේ ද නැත. ඔවුන්ට වුවමනා වූයේ සම කුල ධන සිටු කුමරකුට සිය දියණිය සරණ පාවා දීමට පමණි.

පටාචාරා ඇතැම් සැඳෑවක සදළුතලයට වී සෝකී ගී තනුවක්‌ වැයීමට හුරුව සිටියාය. සංගීතයට ලොල් නොවන්නාහු සිටිත්ද? සිටු මාලිගාවේ මල් උයනෙහි සේවය කරන එක්‌තරා යව්වන සේවකයෙක්‌ සඳලුතලයෙන් ඇදී එන ඒ සංගීත රාවයට ප්‍රිය විය. ඇගේ ස්‌වර මාලාව තුළ සියුම් වියෝගයක්‌ ගැබ්ව ඇති අයුරු ද ඒ සේවකයාට හැඟිනි. එහෙත් ඔහු එය සුවිශේෂ සිදුවීමක්‌ ලෙස කල්පනා කළේ නැත. තමන් වැනි මෙහෙකරුවකුට ස්‌වාමි දියණියක්‌ පිළිබඳව මොනම ආකාරයෙන්වත් සිතීමට අවශ්‍යතාවක්‌ නැති බව ද ඔහු දනී. එහෙත් කාලය ඔහු වෙතට රැගෙන එන්නට වූයේ රමණීය සිහිනයක මරණීය සංඥාවකි. ඒ අනපේක්‍ෂිත ලෙස පටාචාරා සිටු කුමරියගෙන් ලද සොඳුරු අඥාවක්‌ නිසා ය.

“මං වීණාව වයන හැම වෙලාවෙම අර තරුණයා උනන්දුවෙන් සවන් දෙනවා. ඔහුගේ විලාසයෙන් නම් පේන්නේ මගේ සංගීතයට ඔහු ප්‍රිය බවයි. මේ විසල් මාලිගාවේ කිසිවකු කවදාවත් මගේ සංගීතය ගැන හිතනව කියල මං හිතන්නෙ නෑ. මට ඇත්තටම හිතෙනව ඔහු සමඟ කතා කරන්ට.”

මේ ඇසූ පටාචාරාවන්ගේ සමීපතම සේවිකාව මහත් කම්පනයකට පත් වූවාය. ඇයට හැඟුණේ මෙය කිරීමට තබා සිතීමට තරම්වත් නුසුදුසු දෙයක්‌ බවය.

“අනේ කුමරිය, එහෙම දෙයක්‌ හිතන්ටවත් එපා. ඒ හැඩි දැඩි මනුස්‌සයට ඔබතුමියගෙ සියුම් ස්‌වර සංයෝජන විඳගන්ට පුළුවන් කියල ඇත්තටම හිතෙනවද? අනික්‌ අතට ඒ වගේ දෙයක්‌ සිදු උනොත් මට විතරක්‌ නෙවෙයි ඒ තරුණයටවත් විසුමක්‌ නෑ කියල තේරෙන්නෙ නැද්ද?

පටාචාරා හඬනඟා සිනාසුනාය. සැබැවින්ම ඇයට සේවිකාවගේ අනතුර නොදැනුනාම නොවේ. එහෙත් ඇය හඟවන්නට වෑයම් කළේ එය සැහැල්ලු දෙයක්‌ බවය.

“මගේ මෑණියන් උනත් දන්නවානෙ මං මේ මැඳුරෙ හැම කෙනෙකුටම කරුණාවන්තයි කියලා. අනිත් එක අපේ මෙහෙකාරයෙක්‌ උනත් ඒ සතෙක්‌ නොවෙයිනෙ. මං මේ මැඳුරෙ නැතුව ඈත ගම්දොරක අතුපැළක උපන්න නං එහෙම මට මේ දේවල් ලැබෙයිද?”

“ඒක තමා කුමරිය මං කියන්නේ. ඔබතුමිය පින් කළ උත්තමාවියක්‌. ඕවගෙ පව්කාර සිතිවිලිවලින් හිත කිලිටි කර ගන්ට හොඳ නෑ”

පටාචාරා සිනාසුනා මිස එයට පිළිතුරු දීමට නොසිතුවාය. එහෙත් ඇගේ සිත තුළ ඒ තරුණ මෙහෙකරුවා වෙනුවෙන් නුහුරු හැඟීමක්‌ සැඟව ඇති බව ඇයට දැනුණි. එය ප්‍රේමය හෝ ආදරය බව ඇය නොදන්නීය.

දිනක්‌ ඇය සුපුරුදු ලෙස වීණාව වයමින් සිටියාය. එදින ඇගේ සිත් ගත් මෙහෙකරුවා සිටියේ මාලිගාව අසල මල් ගොමුවක්‌ කප්පාදු කරමින්ය. ඔහුගේ හැඩි දැඩි දැත්වලින් කැපී හැඩ වී යන මල් ගොමුව දෙස ඇය බලා සිටියේ වීණාව පසෙක තබමින්ය. සංගීත රාවය නතර වූ හෙයින් මෙහෙකාර තරුණයාගේ දැස්‌ සැණකින් සඳලුතලය දෙසට යොමු විය. ඔහුගේ දැසට හසු වූයේ සිටුකුමරියගේ දැස්‌ ය. ඇයගේ මුවට ඔහු වෙනුවෙන් සිනහවක්‌ ද නැගුණි. එහෙත් එයට ප්‍රතිචාර දැක්‌වීමට තරම් දිරියක්‌ ඔහුට නොවීය. ඔහු අහිංසක බැගෑපත් බවකින් දැස්‌ ඉවතට ගත්තේය. එසැණකින්ම ඔහුට දැනුනේ තමා අදිසි විපතකට ළංවෙමින් සිටින බවකි.

සැඳෑ අඳුරේ දිගු සෙවනැලි ඔස්‌සේ සිය පැල්පතට පැමිණි තරුණයාට සිහිපත් වූයේ කුමරියගේ මියුරු බැල්මත් සොඳුරු සිනහවත් ය. එහෙත් තහනම් දේශයක තහනම් ගසක සෙවණ විඳීමම හිස දංගෙඩියකින් අවසන් වන මාරක සෙල්ලමක්‌ බව ඔහුට සිතිනි. මේ කිසිවක්‌ කීමට සමීප මිතුරෙක්‌ හෝ නෑයෙක්‌ හෝ ඔහුට නොවූහ. එදිනෙදා සිටු මැඳුරෙන් ලැබෙන දෙයකින් ජීවිතය පිරිමසා ගන්නා ඔහු වැනි මෙහෙකාර තරුණයකුට තාරුණ්‍යයක්‌ උරුම නැති බව ද ඔහු සිතුවේය. දෛවය විසින් ලබා දෙන ලද ශක්‌ති සම්පන්න සිරුර විනා අන් කිසිවක්‌ නොමැති අනාථයකු වන් තමා දෙස සියුම් නෙතින් බලන මෙවන් කුමරියක්‌ සිටීම ගැන ද හේ මවිත විය. සිත දුබල කර ගත යුතු නැත. වගකීම් විනා බැඳීම් ද හිමිකම් ද නොමැති ජීවිතයක සීමා මායිම් පිළිබඳව ද ඔහුට කල්පනා විය.

පටාචාරා කුමරිය නම් එදින සිටියේ සිත නැති බඹ ලොවකය. රාත්‍රිය මුළුල්ලේම ඇය සිටියේ අවදියෙනි. කුමරිය තුළ කිසියම් අමුත්තක්‌ තිබෙන බව ද සේවිකාවට දැනුණි. එහෙත් ඇය කිසිවක්‌ නොදන්නා අයුරින්ම

සිටියාය. අලුයම පිබිදුණු ඇය කැඳ බඳුනක්‌ ද රැගෙන කුමරියගේ යහන් ගැබට ඇතුල්වූවාය. වෙනදා පිපුණු මලක්‌ සේ දිස්‌වන ඇගේ මුහුණ බෙහෙවින් විඩාබරව ඇතැයි ඇයට හැඟුනි.

“මට එක හෝරා බාගයක්‌වත් ඇහැ පියවුණේ නෑ.”

කුමරිය ආයාසයකින් නගා ගත් සිනහවක්‌ පාමින් කැඳ බඳුන සුරතට ගත්තීය. මුවට ළං කළ බඳුනෙන් එකම උගුරක්‌ පානය කළ ඇය යළි බඳුන සේවිකාව අතටම දුන්නාය.

“මොකද අද උපවාසයක්‌ කරන්ටවත්

හිතුණද?”

සේවිකාව සිනාසෙමින් ම ඇසුවාය.

“උපවාසයක්‌ නෙමෙයි මට හිතෙනව මාරාන්තික උපවාසයක්‌ කරන්ට.”

කුමරියගේ වදන්වල අරුත මෙන්ම වනිය ද බැරෑරුම් බව සේවිකාවට පසක්‌ විය. එහෙත් ඇය එයට දැක්‌වූයේ සැහැල්ලු ප්‍රතිචාරයකි.

“මේ තරම් සැප සම්පත් මැද්දේ හැදෙන කුමාරිකාවක්‌ මොනවට මාරාන්තික උපවාසයක්‌ කරනවද? ඔබතුමියට මේ හැම සැපතක්‌ම එපා වෙලාද?”

ඇය සන්සුන්ව විමසුවාය.

මං හිතුවෙ අඩු තරමෙ ඔබවත් මාව තේරුම් ගනීවි කියල. මට ආදරෙන් උදව් කරයි කියල. මට මේ හිර මැඳුරෙන් පිටවෙලා යන්ට තියෙනව නං. කන්ට බොන්ට අඳින්ට තිබුණ පලියටම ඒක සැපතක්‌ කියල හිතනවද? සතුටක්‌ නැති ජීවිතයක මං හිරවෙලා. ඇයි මට සවන් දෙන්ට බැරි. ඇයි මාව තේරුම් ගන්ට බැරි. ඇයි මට කැමැති දෙයක්‌ කරන්ට බැරි. මට ඕනෑ විදිහට ජීවත් වෙන්ට මට ඕනෑ. එතන තමයි මගෙ සතුට.

සේවිකාව කිසිවක්‌ම කීවේ නැත. ඇයට දැනුණේ සිටු මැඳුර සමග මහ පොළොවම භ්‍රමණය වන්නාක්‌ මෙනිs. එහෙත් කුමරිය නැවැත්වීම හෝ ඇයට කරුණු පහදා දීම හෝ පහසු නොවන බව ද සේවිකාවට වැටහුණි. කුමක්‌ කළ යුතුද? කුමරියට ෙද්‍රdaහී වී සිටු දේවියට මේ සියල්ල දැනුම් දීමට හැකිය. එහෙත් මේ කරුණාවන්ත වූද, ප්‍රාණප්‍රිය වූ ද කුමරියට එරෙහිව එසේ කිරීමට ඇයට නොහැකිය.

දිනෙන් දින සිටු මැඳුර වෙත ළඟා වන අනතුරක අසුබ ලකුණු වැඩි වූවා මිස අඩු වීමක්‌ නැති බව සේවිකාවට හැ=ඟුනි. කුමරිය ද මැල වී ගිය කුසුමක්‌ වැන්න. ඇයගේ මුවඟ සිනහව පෙර මෙන් නොපිපේ. ඇගේ වීණාව ගොළු වී ගොසින් ය. සඳළුතලයට ගියත් ඇය හිස්‌ අහස දෙස බලා සිටින අයුරු සේවිකාව දුටුවාය. තවත් කොපමණ කලක්‌ මේ සියලු රහස්‌ සමඟ සිටින්ටදැයි ඇය කල්පනා කළාය. එසේ සිතන ඇයට අස්‌වැසිල්ලක්‌ ද නැත.

කුමරිය ද පසු වුයේ දුකින් පිරුණු කල්පනා ලොවකය. ඒ ලොව පිරී තිබුණේ එකම සොඳුරු සිහිනයකින් පමණි. තමා වට කර තිබෙන සියලු යස ඉසුරු කෙතරම් නිෂ්ඵල දේවල් දැයි ඇයට සිතුනේ වරක්‌ දෙවරක්‌ නොවේ. මේ සිර මැඳුරෙන් පැන යන්ට ඇත්නම්….. ඒ වල්ලභයාගේ දැත් තුළ සිරවෙන්ට ඇත්නම්. ඔහුගේ උණුසුමට ළංවී නිදන්ට ඇත්නම්. ඔහුගේ පුළුල් උර මඬලට හිස තබා ගන්ට ඇත්නම්……· එහෙත් ඒවා තටු සිඳී ගිය ප්‍රාර්ථනා පමණි. සිතට දැනෙන රිදුම ඇසට කඳුලක්‌ සේ ගෙනෙයි. මේ නම් ආදරයේ වියෝගය මිස අන් දෙයක්‌ නොවේ. එහෙත් තමා මෙලෙස ඔහුට ආදරය කරන වගක්‌ නිශ්චිතවම ඔහු දන්නෙහිද? ඇයට පිළිතුරක්‌ අවශ්‍ය විය. එනිසාම ඇය තීරණයකට ද එළඹියාය. සත්තකින් ම එය යෞවනත්වයේ දඟකාරත්වය තුළින් මෝදුවන අහිංසක සිතිවිල්ලක්‌ ම නොවීය.

පටාචාරා මෙහෙකාර තරුණයා හමුවන්නට තීරණය කළාය. ඒ පිළිබඳව තමන්ට වඩාත් සමීප වූ සේවිකාවට පවා වචන මාත්‍රයක්‌ නොකීමට ද ඕ වගබලා ගත්තාය. කුමරිය වුවමනාවෙන් ම සිය හැසිරීම් රටාව වෙනස්‌කර ගත්තීය. එහෙත් ඇගේ හැසිරීම්වල කිසියම් ගුප්ත බවක්‌ ඇතැයිද සේවිකාවට සිතුණි.

පටාචාරා අපේක්‍ෂාවෙන් සිටි මොහොත උදාවිය. ඇය මිඩියකගේ වෙස්‌ ගෙන යොවුන් මෙහෙකරුවා රැඳී සිටි උයනට ගියා ය. ඇගේ කට හඬ ඇසුනු හේ තිගැස්‌සී බැලුවේය. එහෙත් ඔහු සැණකින් සන්සුන් විය.

ඔබ දන්නවාද මං ඔබ නිසා විඳින දුක. මේ සිටු මැඳුරම පාලු මූසල සොහොනක්‌ වගේ. මට මේ ජීවිතය එපා වෙලා. ඔබ තුළ මා කෙරෙහි ආදරයක්‌ තියෙනව නං මේ හිර මැඳුරෙන් මාවඅරන් යන්ට. හිත හිතා තීරණ ගන්ට වෙලාවක්‌ නෙවෙයි. මේ වැඩේ බොහොම භයානක දෙයක්‌ බව කියන්ට හදන්ට නං එපා. මං හෙට පාන්දර මේ වගේම වෙස්‌ මාරු කරගෙන උයන ළඟට එනවා. ජීවත් වෙනවද කියල ඔබට තීරණය කරගන්ට අද රෑ ගෙවන තුරු පුළුවන්. මං යනවා.”

තමාට ලැබුණේ සිටු මැඳුරේ රුසිරු කුමරියගේ අණක්‌ නොව පේමාතුර කුමරියගේ හෘදයාංගම ආයාචනයක්‌ බව ඔහු සිතන්ට වෑයම් කළේය. රාත්‍රිය මුළුල්ලේ ම ඔහු ගත කළේ නිදි වර්ජිතවය. සිටු කුමරිය තුළ තිබෙන ධෛර්යය හා ක්‍රියාශීලීත්වය ගැන ඔහු මවිත විය. මේ සා ක්‍ෂණික පියවරක්‌ ගැනීමට තරම් ඇය කල්පනා කළේ කුමක්‌ නිසා දැයි ඔහුට අපැහැදිලිය. එහෙත් මේ ප්‍රෙමයේ සුරම්‍ය සඳඑළිය බව නම් ඔහුට නිසැකවම දැනිණි.

මේ සා සියුමැලි ලියකට මෙලෙස හැසිරෙන්ට දිරියක්‌ ඇති කල එයට පිටුපෑම පිරිමිකමට නිගාවකැයි ඔහු සිතීය. එසේම තමාගේ ආදරයට පාත්‍ර වූ මේ යොවුන් කුමරිය සියල්ල හැරදා මෙලෙස එන්නී නම් එයට ගෞරව කිරීම සිය යුතුකමක්‌ සේ ද ඔහු සිතුවේය.

සිටු මැඳුර මතු නොව සැවත් නුවර ම නිදා සිටියදී පටාචාරා සමඟ අරමුණකින් තොරව මඟට බට තරුණයා දීර්ඝ ගමනක නිරත විය. ඇගේ මවුපියෝ ද සේවක සේවිකාවේ ද මහත් සේ තැති ගෙන සිටියහ. කිසිම කෙනෙකුට ඇගේ අතුරුදන්වීම අනුමාන ලෙස හෝ සිතිය නොහැකි විය. මවුපියන්ගේ සුසුම් ද සිටු මැඳුරේ අනෙක්‌ අයගේ සුසුම් ද හිස්‌ අහසට එක්‌ වෙද්දී පටාචාරා හා යොවුන් මෙහෙකරුවා ඈත ගමකට ගොස්‌ සිටියහ. ඒ අසිරිමත් ප්‍රේමයේ නාමයෙන් ය.

“ඇත්තටම ඔබට තිබුණනෙ වෙනත් උසස්‌ සිටුකුලයකට සරණයන්ට ගිහිල්ලා ජීවිතේ සතුටින් ගෙවන්ට

පටාචාරාගේ සැමියා දිනක්‌ ඇයට කීවේය. ඇයගෙ මුව මඬල සිනහවකින් සෝබාමත් විය. ඒ දැස්‌ තුළම පිළිතුර ද ඇදී තිබුණි. එහෙත් ඇය මෙසේ එයට ප්‍රතිචාර දැක්‌වූවාය.

ප්‍රිය ස්‌වාමීනි, මුහුද ළඟට ගියත් පිපාසයට දිය බොන්ට ළිඳට එනව වගේ මොන සිටු කුලයට ගියත් මගේ සිත ඔබ වෙතට එනව. මගේ සතුට ඒ සිටු මැඳුරෙ තිබුණෙ නෑ. මේ පැල්පතේ ඒ සතුට උතුරනව.

ප්‍රථම ප්‍රේමයේ මිහිර ඔවුන් අත් නොහැර ගියත් අගහිඟකම් ලුහුබැඳ එද්දී ඔව්හු අසරණ වූහ සුවඳ බොජුන් වැළ» සිරි යහන්වල සැනසුණු, ඒ සියුමැලි ලිය අද ගෙවන ජීවිතය ඔහු තුළ ද දොම්නසක්‌ දල්වයි. එහෙත් පටාචාරාත් සියල්ල සතුටින් බාර ගන්නීය. ඇයට දැනුනේ තමන් සීතල ගඟුලක සිහිල් සෙවනක ජීවිතය විඳිනා සෙයකි.

මේ අතර පටාචාරා මවක්‌ වන ලකුණු ද පලවිය. කුළුඳුල් දරුවා බිහි sකිරීම සඳහා දෙමවුපියන් වෙතට යමු දැයි ඇය සැමියාගෙන් ඇසුවාය. සැමියාට පෙරැත්ත කරන්නට ද වූවාය. එහෙත් ඔහුගේ පසුබැසීම් සිදුවෙද්දී ම දරු උපත ඉක්‌මන් විය. එහෙයින් ගමන ද නතර විය. පටාචාරා දෙවන වර ගැබ් ගන්නී. එවර ද මවුපියෝ වෙත යැමට හිමිට බලකර සිටියාය. එවර නම් ඔහුට ගැලවීමක්‌ නොවීය. මඟට වුවමනා අඩු වැඩිය ද හැකි පමණින් සපයාගත් පටාචාරා පවුල සැවැත් නුවර බලා ගමන ඇරඹුහ. ඒ ගමන අතිශයදුෂ්කර විය. එහෙත් ඔවුහු දිරියෙන් මග ගෙවූහ. ගම් දනව්, වන පෙත් පසු කරමින් පැමිණි ඔවුහු සැවත් නුවරට නුදුරුව වන පෙතෙක ගිමන් හරිමින් සිටිවහ. කුසගිනිද දැඩි විය. ඒ සමගම වැස්‌සක ලකුණු ද දිස්‌විය.

මහවැසි වැටෙද්දී ම පටාචාරාට විලිරුදා දැනුණි. ඇය සිය පළමු දරුවා තුරුලට ගෙන ඔහු වැස්‌සෙන් මුවාකර ගත්තීය. ඇගේ විලාසය දුටු සැමියා වැස්‌සට සෙවණක්‌ සැදීමේ සිතින් වනයට වැදුනේ ඇවැසි කලහලමනා සෙවීමටය. වැසි වැඩි විය.වැසි තරමටම ඇගේ විලිරුදාව ද වැඩි විය. විදුලි කොටන්නා සේ කුසෙහි කැළඹිලිද විය. ඇය බිම වැතිර සිය දෙවන දරුවාද බිහිකර සැමියා එන තෙක්‌ වේදනාවෙන් ම බලා සිටියාය.

වැසි ද අඳුර ද පහ විය. තවමත් දිය පහරවල් නිදහසේ ගලා යයි. පටාචාරාගේ සිතට සැනසීමක්‌ ද නැත. එහෙත් නොසැලී නැගී සිටි ඕ අලුත උපන් දරුවා කර පින්නා ගෙන අනෙක්‌ දරුවා ද සමඟ සැමියා සොයමින් වන ගැබට ඇවිද ගියාය. ඇයට ඇගේම ඇස්‌ අදහා ගත නොහැකි වූ සෙයකි. සැමියා තුඹසක්‌ අසල වැටී සිටිනු ඇය දුටුවා ය. ඇයට සිතුනේ සිහිසුන්ව වැදහොත්a බවකි. එහෙත් ස්‌වල්ප වේලාවකින් සිදුව ඇති විපත පසක්‌ කර ගත් ඕ දැඩි සිතින්ම වනයෙන් පිටතට ආවාය. ඈ එන මඟ ගඟකි. එහි තරමක සැඩ පහරක්‌ ද විය. ඇද වැටුණු වැසි නිසා ගඟ දිය තරමක්‌ ඉහළට නැග තිබිණි. විමසිල්ලෙන් බැලූ ඇයට පසක්‌ වූයේ ගඟට බැස එගොඩ විය හැකි බවය.

පටාචාරා අලුතු උපන් දරුවා ගං ඉවුරේ තබා අනෙක්‌ දරුවා පළමුව එගොඩ කළාය. අනතුරුව ගඟÊමැදට එන විටම ගොදුරු සොයනා උකුස්‌සකු බිළිදා දෙසට ඇදෙන අයුරු ඇය දුටුවාය. ඇය ගඟ මැද සිටම ශබ්ද නගා දැතින් ඉඟි කළත් උකුස්‌සා බිළිදා රැගෙන පියඹා ගියේය. මෙගොඩ සිටි දරුවාට හැඟුණේ සිය මව තමන්ව ඇමතූ බවකි. ඒ දරුවා ද ගඟට පැනනේය. පටාචාරා ආපසු හැරෙන විටත් සැඬ ගඟ දිය දරුවා රැගෙන පහලට ඇදී දරුවා ද සඟවා ගත්තීය.

පටාචාරා එකින් එක තම හිස මතට පාත්වන දුක්‌ කඳු වලින් නොසැලී සිටියාය. ඇගේ ලෝකය විනාශ වී ගොසින් ය. හැඬුම් වැලපුම් වෙනුවට කෙසේ හෝ මව්පියන්වත් දැක ගත හැකි නම් යන සිතිවිල්ල ඇය තුළ වැඩුණි.

ඕ සැවත් නුවරට පැමිණියාය. මුළු නුවරම වෙනස්‌ ය. දන්නා හඳුනන ගහක්‌ කොළක්‌ තරම්වත් නැත. ඇය මතකය ඔස්‌සේ සිටු මැඳුර දෙසට ඇදුණාය. පුදුමයකි. එහි වූයේ ගරා වැටුණු ගොඩනැඟිල්ලක නටබුන්ය. දඩාවතේ යන ගවයෝ එහි ලැගුම්ගෙන සිටියහ. මිනිස්‌ වාසයක්‌ නොවූ සෙයකි. ඈත මෑත බලමින් හඳුනන කෙනෙක්‌ ඇද්දොa යි විමසමින් යන ඇයට එක්‌තරා වෙළෙන්දෙක්‌ හමුවිය. ඔහු සමඟ කතා බහ කරද්දී හේ සිය මවුපියන් හඳුනන බව ද තහවුරු විය. එහෙත් ඔහු කී පුවත ඇය හිස මතට පාත් වූ තවත් හෙණයක්‌ම විය.

“අනේ ඒ සිටු පවුල මේ නුවර අත්හැරල ගිහිල්ල නෑයෙකුගෙ නිවසකයි ජීවත් වුණේ. ඒ ගොල්ලගෙ එකම දියණිය රහසින් ගියාට පස්‌සේ ඒ සෝකයෙන්ම හිටියෙ. මේ සිටු මැදුර කඩා වැටුන දැන් සතියකට ඉස්‌සර ඒ දෙන්නම මිය ගියා. මං හිතන්නෙ එක සොහොනක්‌ තවම ඇවිලෙනවා. ඔන්න ඔහොම ගිහිල්ල අර දෙවට දිගේ ගියහම බලාගන්ටත් පුළුවන්.”

එවේලේ නම් පටාචාරාගේ සියලු ශක්‌තියද, අධිෂ්ඨානය ද වියෑකී ගියේය. අකීකරු දුවක්‌ නිසා දෙමවුපියෙන් ගෙවූ වන්දිය ගැන සිතන ඇයට එය ඉහිලුම් නොදෙන්නක්‌ විය.

ගිනි දලු නිවුනු සොහොන අසල මොහොතක්‌ දණ ගසා ගෙන සිටි ඇය නැගී සිටියාය. මහ හඬින් සිනාසුනාය.මහ හඬින් හැඬුවාය. සොහොනට පනින්ට මෙන් දිව එද්දී අසල සිටි කීපදෙනෙක්‌ වහා ඉදිරිපත්ව එය වළක්‌වාලූහ. අනතුරුව හිස හැරුණු අත විලාප දෙමින් දුවන්ට වූවාය. ඇය දුටු එෙŒර කොලු ගැටව් පිස්‌සු ගැහැනියක්‌ යනුවෙන් කියමින් ඇයට ගල්වලින් ගසන්ට ද වූහ. ඒ රිදුම් තැවුල් ඇයට වගක්‌ නැත. තමා හඹා එන කොල්ලන්ගෙන් ගැලවී ගත් ඕ ඉබේම ඡේතවනාරාමය දෙසට යන මාවතට වැටුණි. ඇගේ දුක්‌ මුසු විලාසය ගැන සමහරු අනුකම්පා කළහ. එහෙත් ඇය ගැන සත්‍යය කිසිවෙක්‌ නොදත්හ. ඇය ඡේතවනාරාමයට ඇතුල් වීමට ගියේ ද සිහියකින් නොවේ. එහෙත් ඇයට ඒ සඳහා පින් ඉතිරිව තිබුණි. බුදුන් වහන්සේගේ දයාව කරුණාව ලද ඕ ශාරීරිකව ද, මානසිකව ද සුවපත් වූවාය. සියලු වියෝගයන් දරාගත් පටාචාරා අනතුරුව මෙහෙණිsයක්‌ වූවාය.

ගාමිණී සුමනසේකර

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Categories

Different countries have visited this site

Free counters!
%d bloggers like this: