//
you're reading...
ඉංග්‍රීසි පුවත් (English News)

වරිග සභා නීතිය

මම සිංහල ලියන්න කියන්න ඉගෙන ගත්තෙ ලංකාදීප පත්තරෙන්

2013 මැයි මස 12 12:17:14 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

source:

විනිසුරුවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් හා පරිපාලකයෙක් ලෙස වසර 60ක පමණ කාලයක් රටට සේවය කළ වෝල්ටර් ලද්දුවහෙට්ටි මහතා අනගි අත්දැකීම් ගොන්නක හිමිකරුවෙකි. කලක් ඔහු නීති විද්‍යාලයේ විදුහල්පති විය. මෙරට ප‍්‍රථම මූල්‍ය හා රක්ෂණ ඔම්බුඞ්ස්මන් (දුක්ගන්නාරාල) වූයේ ද ඔහු ය. ඔහුගේ විචිත‍්‍ර ජීවන අත්දැකීම් මාධ්‍යයට හෙළිදරව්  කරන්නේ ප‍්‍රථම වරටය. මේ ඔහුගේ හරබර කතාවයි.

 

 ප‍්‍රථම වරටය. මේ ඔහුගේ හරබර කතාවයි.

 

ප‍්‍රශ්නය:- ඔබ මේ රටේ පාලන යුග දෙකක් දැකපු කෙනෙක්. ඔබ උපදිනකොට මේ රට පාලනය කළේ සුද්දෝ. මතකද කුඩා කාලෙ රටේ තත්ත්වය?
පිළිතුර:- මතකයි. ඒ කාලෙ රටේ ගාම්භීර ඉංග‍්‍රීසි සංස්කෘතියක් තමයි පිළිපැද්දේ. මගේ ගම ගාල්ලෙ අක්මීමණ. අපි ඉගෙන ගත්තෙ රිච්මන්ඞ් විද්‍යාලෙ. ඉස්කෝලෙට ගියේ බක්කි කරත්තෙන්. මමත් මගේ සහෝදරයන් වුණ ඩග්ලස්, ස්ටැන්ලි අපි හැමෝම රිච්මන්ඞ් කොලීජියෙ උගත් අය.

 

ප‍්‍රශ්නය:- ඔබ නියෝජනය කළේ ප‍්‍රදේශයේ වලව් පැළැන්තිය නේද? කොහොමද පවුලේ තොරතුරු?
පිළිතුර:- (සිනාසෙයි) මගේ පියා මිනින්දෝරු මහත්මයෙක්. එතුමා රට පුරා සේවය කළා. මව තමයි අපිව බලාකියා ගත්තේ. මවගේ සහෝදරයො දක්ෂ නීතිඥයො. ටයිටස් ඩයස් අබේගුණවර්ධන, ඊළඟට ඊ.වයි.ඞී. අබේගුණවර්ධන එයා අකුරැස්ස ආසනේ ඡන්දයත් ඉල්ලූවා.

ප‍්‍රශ්නය:- සුදු පාලකයන්ගෙ කාලෙ රිච්මන්ඞ් විද්‍යාලෙ තිබුණෙ කතෝලික ආගමික පරිසරයක් නේද?
පිළිතුර:- එහෙමයි. බෞද්ධකමට තැන අඩුයි. ඒත් අපේ කාලෙ ක‍්‍රමක‍්‍රමයෙන් බෞද්ධ ව්‍යුහයට හැඩ ගැසුණා. නමුත් සේරම වැඩ කෙරුණෙ ඉංග‍්‍රීසියෙන්. එක සිංහල පන්තියයි තිබුණෙ. ඒ නිසා අපේ සිංහල දැනුමත් හරි අඩුයි. කොහොම හරි එහේ ඉගෙන ගෙන කොළඹ යුනිවර්සිටි කොලීජියට තේරුණා.

ප‍්‍රශ්නය:- ඒ කාලෙ මේ රටට තිබුණෙ විශ්වවිද්‍යාල එකයි නේද?
පිළිතුර:- ඔව්. කොළඹ විශ්වවිද්‍යාලෙ. ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් තමයි අපේ ප‍්‍රධානියා. මගේ උපාධි සහතිකේ අත්සන් කළෙත් එයා.

ප‍්‍රශ්නය:- එදා සරසවි අධ්‍යාපනයත් අද සරසවි අධ්‍යාපනයත් සසඳන්න පුළුවන්ද?
පිළිතුර:- අමාරු වැඩක්. එදත් අද තරම්ම නැතත්, උණුසුම් වාද විවාද මත ගැටුම් තිබ්බා. වරක් ජෝර්ජ් රජතුමාගෙ නමින් තිබුණ ශාලාවෙ විශාල රණ්ඩුවක් වුණා මට මතකයි. අපේ කාලෙ තමයි හිටපු ප‍්‍රසිද්ධ දේශපාලකයෙක් වුණ කේ.ඇම්.පී. රාජරත්න හිටියෙ. මේ රණ්ඩුව වෙලාවෙ රාජරත්න දුවල ගිහිල්ල ගඩොල් කැටයක් අරන් තව කෙනෙකුට ගහන්න පැන්නා. එතකොටම තවත් කොල්ලෙක් පැනල රාජරත්නට කකුල් මාට්ටුවක් දාලා කිව්වා, විශ්වවිද්‍යාලෙ කියන්නෙ ගල් ගහන තැනක් නෙවෙයි….. වහාම  ඕක නවත්තන්න කියලා.

ප‍්‍රශ්නය:- ඒ කාලෙ සරසවි දේශපාලනේ තිබුණද?
පිළිතුර:- තිබුණා. සේරම වමට තමයි බර. කොල්වින්, එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, ඇන්.ඇම්. එහෙම ඇවිල්ල දේශන කරනවා. රටේ උණුසුම් ප‍්‍රශ්න ගැන කතා කරනවා. ශාලාව පිරිල ඉතිරිලා යනවා. යූ.ඇන්.පියෙන් බණ්ඩාරනායක ඇර වෙන කවුරුවත් ආවෙ නැහැ.

ප‍්‍රශ්නය:- ඒ මොකද?
පිළිතුර:- කොල්ලො හූ කියයි කියල බයට. නමුත් කොල්වින්, පීටර් කේනමන් වගේ අයගෙ කතා හරිම සාරවත්. ඔක්ස්පර්ඞ්, කේම්බි‍්‍රජ් දැනීම, උගත්කම කදිමට පෙන්නුව.

ප‍්‍රශ්නය:- ඔබත් ඒ කාලෙ වාමාංශික ද?
පිළිතුර:- මම වාමාංශිකයෙක් කියන්න බැහැ. නමුත් අපිටත් සමාජවාදී අදහස් තිබුණා. මම කළෙත් ආර්ථික විද්‍යා උපාධිය. මහාචාර්ය දාස්ගුප්ත, මහාචාර්ය මුඛර්ජි, එෆ්.ආර්. ජයසූරිය, එච්.ඒ. ද එස්. ගුණසේකර, වැන්ඩ‍්‍රඞී‍්‍රසන් හරිම ප‍්‍රබල චරිත තිබුණ ගුරුවරු ඒ අය.

ප‍්‍රශ්නය:- ඒ කාලෙ ස්ට‍්‍රයික් කළේ නැද්ද?
පිළිතුර:- සුද්දගෙ කාලෙ මොන ස්ට‍්‍රයික්ද? සර් නිකලස් ආටිගල එහෙම දකිනකොට කොල්ලො බයයි කියන්නෙ මාර බයයි.

ප‍්‍රශ්නය:- ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නීති වෘත්තියට ගියේ කොහොමද?
පිළිතුර:- උපාධිය කරද්දිත් මම නීති විද්‍යාලෙට බැඳිල ඉගෙන ගත්තා. හැබැයි උපාධිය හැටියට රස්සාව කරනව නම් මහ බැංකුවටයි මට යන්න තිබුණෙ. පස්සෙ මට හිතුණ බැංකුවට වඩා නීතිය ඉගැනීමෙන් රටට වැඩිපුර වැඩක් කරන්න පුළුවන් කියල. එතනට ගියා. ඉන් පස්සෙ නීතිය ඉගෙන ගෙන නීතිඥයෙක් වෙලා ගාල්ලෙ උසාවියට වැඩ කරන්න ගියා 1953 විතර.

ප‍්‍රශ්නය:- ඔබ රජයේ නීති කටයුතු කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනෙ ඉන් පසුවද?
පිළිතුර:- ඔව්. ඒ කාලෙ ඔය තනතුර හැඳින්වූවේ ක‍්‍රවුන් කවුන්සිල් කියල. ඒ වෙනකොට දෙපාර්තමේන්තුවෙ හිටපු සෑම් විජේසිංහ මහත්මයයි මට නීතිපති එකට එන්න කීවේ. අන්තිමට ගාල්ලෙ බාර් එකේ හිටපු මමත් රන්ජිත් අබේසූරිය මහත්තයත් එකටම වගේ නීතිපති දෙපාර්තමේන්තුවට ආවා. ඒ කාලෙ දෙපාර්තමේන්තුවෙ වික්ටර් තෙන්නකෝන්, රාජා වනසුන්දර, සෑම් විජේසිංහ, ඒ.සී.එම්. අමීර් වගේ ප‍්‍රබලයො හිටියා.

ප‍්‍රශ්නය:- නීතිපති දෙපාර්තමේන්තුවෙ ටික කලක් ඉඳල ඔබ ඔබේ නියම වෘත්තියට එනවා?
පිළිතුර:- ඔව්. මම හිතුව තවදුරටත් රටට සේවයක් කරන්න නම් නඩුකාරවරයෙක් වෙන එක හොඳයි කියල. අපි පුංචි කාලෙ ගෙදර සෙල්ලම් කරනකොටත් නඩුකාරය හැටියට මම රඟපෑම් කරල තිබුණා (සිනාසෙයි).

ප‍්‍රශ්නය:- ඔබ නඩුකාරවරයෙක් හැටියට තෝරාගත්තෙ කව්ද? කොහොමද?
පිළිතුර:- හේම බස්නායක අග‍්‍රවිනිශ්චයකාරතුමා එක්ක විනිසුරු ඊ.එච්.ටී. ගුණසේකර සහ විනිසුරු පුල්ලේ කියන මහත්වරු ඉන්ටර්විව් බෝඞ් එකේ හිටිය. එතකොට මට වයස 31යි. අග‍්‍රවිනිශ්චයකාරතුමා මාව ඉන්ටර්විව් කරල ඉවර වෙලා කිව්ව මම තමුන්ට විශේෂ උපදෙසක් දෙනව ඒක පිළිගන්න. නඩුකාරයෙක් හැටියට ඉන්නකොට කාටවත් චරිත සහතික දෙන්න එහෙම එපා කියල. එදා ඒ දුන්න උපදෙස අනුව මම කවදාවත් කාටවත් චරිත සහතික දුන්නෙ නැහැ. මගේ බිරිඳ සංගීත ගුරුවරියක්. ඒ නිසා එතුමා මට ඊළඟට කිව්ව කිසිම කෙනෙකුට සංගීතය ටියුෂන් දෙන්න එපා කියල බිරිඳට කියන්න කියලත්.

ප‍්‍රශ්නය:- ඇයි ඒ?
පිළිතුර:- නඩුකාරයාගෙ නෝන මියුසික් ටියුෂන් දෙන්න ගත්තොත් චූදිතයොයි පොලිස් නිලධාරියොයි ළමයි අරන් ඒවි ටියුෂන් ගන්න. ඒක විනිශ්චයකාර වෘත්තියට හොඳ මදි නේ. ඒකයි එහෙම කිව්වෙ.

ප‍්‍රශ්නය:- ඔබ කොළඹ ටික කලක් සේවය කරල පස්සෙ මාතලේට ගිහිල්ල, අනුරාධපුරයට දිසා විනිසුරු හැටියට පත්වුණා. ඒ කාලෙ තමයි ඔබේ විනිසුරු දිවියේ දීප්තිමත්ම කාලෙ?
පිළිතුර:- දීප්තිමත් නෙවෙයි, තව පොඞ්ඩෙන් මට අස්වෙන්නයි වෙන්නෙ.

ප‍්‍රශ්නය:- ඇයි, වරදක් සිද්ධ වුණාද?
පිළිතුර:- මම අනුරාධපුරේ දිසා විනිසුරු හැටියට ඉන්නකොට තමයි සිංහල රාජ්‍ය භාෂාව කරල අධිකරණ කටයුතු සිංහලෙන් කරන්න කියල කිව්වෙ. එතෙන්දි මට විශාල ප‍්‍රශ්නයක් ආවා. මම සිංහල කතා කළාට සිංහල ලියන්නවත්, කියවන්නවත් බැහැ. ඉතින් ඔය ප‍්‍රශ්නෙට තිබුණෙ උත්තර දෙකයි. එකක් රස්සාවෙන් අස්වෙන්න  ඕනෑ. නැත්නම් සිංහල ඉගෙන ගන්න  ඕනෑ. මම තීරණය කළා මේ සිංහල රටනේ, සිංහල ඉගෙන ගන්න  ඕනෑ කියලා.

ප‍්‍රශ්නය:- සිංහල ටියුෂන් ගත්ත ද?
පිළිතුර:- නැහැ. මම මගේ පියන්ට කිව්ව මට හැමදාම ලංකාදීප පත්තරේ ගෙනත් දෙන්න කියලා. ඉතින් පත්තරේ ගෙනාවම රෑට මම වැඩ ඉවර කරල පත්තරේ අරන් අකුරෙන් අකුර එකතු කරල කතු වැකිය කියවන්න පටන් ගත්ත. මට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ. අකුරු කිව්වට තේරුම දන්නෙ නැහැ. ඉතින් ඔහොම තුන් හතර පාරක් කියවල කියවල අමාරුවෙන් තේරුම හිතා ගන්නවා. මම මුලින්ම කියවපු කතුවැකිය අද වගේ මතකයි. ලංකාවේ සමුපකාර ක‍්‍රමය ගැනයි ලියල තිබුණෙ. ඉතින් මම ඒ විදියට සිංහල ඉගෙන ගත්තෙ තමුන්නාන්සෙලගෙ ලංකාදීප පත්තරෙන්. ඒ පුරුද්දට අදත් මම පත්තරේ බලනව.

ප‍්‍රශ්නය:- ඔබ විසින් අසන ලද ඓතිහාසික වරිග සභා නඩුව ඇහුවෙ ඔය කාලෙදි නේද?
පිළිතුර:- ඔව්. ඒක වාර්තාගත නඩුවක්. මම මගේ නඩු තීන්දුවෙන් ගමේ තිබුණ සම්ප‍්‍රදායික වරිග සභාව නීතිගත කළා.

ප‍්‍රශ්නය:- බොහෝ දෙනෙක් නොදන්නා ඒ කතාව මොකද්ද?
පිළිතුර:- කහටගස්දිගිලිය පළාතෙ මුස්ලිම් තරුණයෙක් අසල ගමකට කුඹුරු වැඩ කරන්න ආව. ඇවිල්ල ඒ ගමේ ගෙදරක නැවතිලා හිටිය. මේ ගෙදර තරුණ ගෑණු ළමයෙක් හිටිය. ඒ දෙන්න අතර සම්බන්ධකමක් ඇතිවෙලා, ටික දවසකින් ගෙවල්වලට හොරෙන් විවාහ වුණා. මේ තරුණිය අයත් පවුල් ඒ කාලෙ ඒ පළාතෙ ක‍්‍රියාත්මක වුණ එක්තරා වරිග සභාවක නීති රීතිවලට යටත්වෙලා ඉඳල තිබෙනවා. ඒ වරිග සභාවෙ නීති රීති සම්ප‍්‍රදායන් අනුවයි වරිගෙ පාලනය වෙලා තිබෙන්නෙ.

ප‍්‍රශ්නය:- මේක උසාවියට ආවෙ කොහොමද?
පිළිතුර:- මුස්ලිම් තරුණයා සිංහල තරුණිය විවාහ කර ගැනීමෙන් වරිගෙට අපහාසයක් හානියක් වුණා කියලයි නඩුව ආවෙ. වරිග සභා නීති කැඩුණා කියලත් තිබුණා. වරිග සභාවෙ නායකයො අර තරුණිය තමන්ගෙ වරිගෙට අපහාස කළා කියලත් කරුණු ඉදිරිපත් කළා. ඒ කාලෙ අනුරාධපුරේ හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥ මහදිවුල්වැව මහත්තයයි, නඩුව කළේ. මම මේ වරිගසභා ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ. සාමාන්‍ය විදියට නඩුව පටන් ගත්ත. ඊළඟට සාක්කි අහන්න සූදානම් වුණා. එතකොට මම දැක්ක දිගට රැවුල් වවාගත්ත හැරමිටියෙන් යන බමුණො වගේ මිනිස්සු පස්දෙනෙක් ඇවිත් ඉන්නව. මම ඇහුව ඒ කව්ද කියල. ඒගොල්ලො තමයි වරිගසභාවෙ නායකයො.

ප‍්‍රශ්නය:- ඒ අය මොනවද ඔබෙන් ඉල්ලූවෙ?
පිළිතුර:- එයාල කිව්ව සිංහල රජ දරුවන්ගෙ කාලෙ ඉඳල පැවත එන වරිගසභා ක‍්‍රමේ අනුව අපේ වරිගෙ සම්මත සිරිත් යමෙක් කැඩුවොත් ඊට දඬුවම් දෙන්න අපට බලය දීල තිබුණා. එබඳු අයට අපේ ගෙදරකින් ගිනි පෙනෙල්ලක්වත් දෙන්න තහනම් කියල. තවත් හුඟක් කරුණු කිව්ව. වරිග සභාව ගැනත් ඒකෙ බලතල ගැනත්. ඒ ඇත්තො තමන්ගෙ කුලයෙ නායකයො බවත් දැන්නුව. මට තේරුණා වරිග සභාව ඉතාම ශක්තිමත් ග‍්‍රාමීය සංවිධානයක් බව. හැබැයි මේකට නීතිමය පදනමක් දීම ලේසි වුණේ නැහැ. මමත්  ඕව ගැන කිසිම දෙයක් දැන හිටියෙත් නැහැනේ. ඒ නිසා නඩුවෙ තීන්දුව දෙන්න කලින් මේ ගැන හැදෑරීමක් කරන්න  ඕනෑ කියල හිතුව.

ප‍්‍රශ්නය:- ඔබ ඊට කරුණු හොයාගත්තෙ කොහොමද?
පිළිතුර:- උසාවිය සවස 4.00ට ඉවර වුණා. මම කෙළින්ම ගියා සංරක්ෂණ මණ්ඩලේ පුස්තකාලයට. ගිහිල්ල රජරට කුලක‍්‍රම, වරිගසභා ගැන තොරතුරු සඳහන් ඉංග‍්‍රීසියෙන් ලියපු පොත් තුනක් හතරක් අමාරුවෙන් හොයාගත්තා. ඒ පොත් එදා රාත‍්‍රි 12 විතර වෙනකම් මම කියෙව්ව. එතනදී මට තේරුණා ඒ සමාජ ක‍්‍රමය යටතේ වරිගසභාව කොයිතරම් වැදගත් ආයතනයක් ද කියන එක. පොලිසිය නැති කාලෙ වරිගෙ විසින් වරිගෙ අනන්‍යතාව රැුකගෙන පාලනය කළ හැටි ඒ පොත්වල තිබුණා. නමුත් මට ඒ තොරතුරු නඩු තීන්දුව දෙන්න මදි. තවත් කරුණු හොයාගන්න හිතුව.

ප‍්‍රශ්නය:- කව්ද ඒකට උදව් කළේ?
පිළිතුර:- ඒ කාලෙ අනුරාධපුර අටමස්ථාන නායක පදවිය දැරුවෙ උඳුරවහල්මිල්ලෑවේ ශ්‍රී සුමනරේවත නායක හාමුදුරුවො. මම උන්වහන්සේට ටෙලිපෝන් කළා. කාරණේ කියල හමුවෙන්න වෙලාවක් ඉල්ලූවම උන්වහන්සේ මට කිව්ව ඔබතුමා එන්න, හැබැයි රාත‍්‍රි 9.30න් පස්සෙ. මොකද නඩුකාර උන්නාන්සෙ මගේ පන්සලට ආවයි කියන එක අහල පහළ මිනිස්සු දැන ගන්න  ඕනෑ නැහැනේ කියල. ඉතින් කිව්ව විදියට රාත්තිරි මම ගියා. ගිහිල්ල කාරණේ කියල වරිගසභාව ගැන විස්තර ඇහුව.

ප‍්‍රශ්නය:-නායක ස්වාමීන් වහන්සේ දැන සිටියා ද ඒ කරුණු?
පිළිතුර:- නැතුව. මට උන්වහන්සෙ කරුණු රාශියක් කියල දුන්නා. තමන්ගෙ වරිගෙ හරකෙක් සොරකම් කළ කෙනෙකුට පවා දඬුවම් දෙන්න වරිගසභාවට බලතල තිබුණ බව මට කිව්වෙ උන්වහන්සෙයි. මම කියවපු පොත් පත්වල තොරතුරුයි, නායක හාමුදුරුවො කිව්ව තොරතුරුයි සේරම එකතුකරන් මම උසාවියට ගියා නඩු තීන්්දුව ලියන්න.

ප‍්‍රශ්නය:- මොකක්ද මේ සම්බන්ධව ඔබ ලබාදුන් නඩු තීන්දුව?
පිළිතුර:- මම තීන්දු කළා ඒ ඒ කුල විසින් දිගු කාලයක් පවත්වාගෙන ආපු වරිග සභාව නීතියෙන් පිළිගත යුතුයි කියල. වෙනත් විදියකට කිව්වොත් වරිග සභාවට මම නීතිමය පිළිගැනීම ලබා දුන්නා. වරිග සභාවේ ක‍්‍රියාමාර්ග රෝම ලන්දේසි නීතියෙන් අප්සෙට් නොකළ යුතුයි කියන එකයි මගේ මතය වුණේ. අපේ මෑත නීති ඉතිහාසය පළමු වැනි වතාවට තමයි වරිග සභාව කියන එක ඔය විදියට නීතියෙන් පිළිගත්තෙ. ඒ නිසා ඔය නඩු තීන්දුව ඉතිහාස ගත වුණා. ඒකයි කතාව.

ප‍්‍රශ්නය:- 1971 අපේ‍්‍රල් කැරැල්ලට පෙර රජරට ප‍්‍රදේශයේ මේ විප්ලවයේ උණුසුම තිබුණා. ඔබට ඒ ගැන අත්දැකීම් තිබෙනවද?
පිළිතුර:- ඔව්. දවසක් තරුණයෙක් පොලිසිය මගේ බංගලාවට ගෙනාව ජේ.වී.පී. කාරයෙක් කියල. මේක වුණේ කැරැල්ලට පෙර. පාපොච්චාරණයක් කරන්න කියල. මම ඒ තරුණයාට සිසිල් බිම බෝතලයක් බොන්න දීල සන්සුන් කරල එයා විප්ලවීය මාර්ගෙට ගිය හැටි ඇහුව. ජේ.වී.පී.යෙ ගුරුවරු එයාලගෙ ගමට ඇවිත් පන්ති තියපු හැටි, කාපු බීපු හැටි පන්ති වෛරය ඇති කළ හැටි ගැන මට  කිව්ව. බණ්ඩාරනායක ආවත් සේනානායක ආවත්  ඕගොල්ලොන්ට කන්න වෙන්නෙ කුරක්කන් රොටී. ඒ නිසා මේ ක‍්‍රමය වෙනස් කරමු කියලයි වැඬේ පටන් අරන් තිබුණෙ. කොහොමහරි මම ඒ තරුණයා රිමාන්ඞ් කළා. පස්සෙ දැන ගත්තා එයා ඒ පළාතෙ නායකයෙක් වග.

ප‍්‍රශ්නය:- 1971 කැරැල්ල පටන් ගන්නකොට ඔබ හිටියෙ කොහේද?
පිළිතුර:- මම එතකොට මාතර දිසා විනිසුරු. මම නැවතිල හිටියෙ මාතර හිරගෙදර ළඟ තිබුණ ගෙදරක. අපේ‍්‍රල් 5දා රාත්තිරි මම පොතක් කියව කියව හිටිය. එක පාරටම හිර ගෙදර පැත්තෙන් සද්ද බද්ද වගයක් ඇහුණ. ඊළඟට මහ හඬින් බෝම්බයක් පිපිරුව. අපේ ගෙදර තිබුණ ලයිට් එක කඩාගෙන බිමට වැටුණා. පළාතම අඳුරුයි. වෙඩි පත්තුවෙන්න බෝම්බ ගහන්න පටන් ගත්තා. එක යුද්ධයයි. හිරගෙදර ඇතුළෙත් පිටත් මහ ප‍්‍රශ්නයක් තිබ්බ. කොහොම හරි හමුදාව පොලිසිය එකතු වෙලා වැඬේ පාලනය කළා. ඊට පස්සෙ දවස් ගණනක් යනකොට තත්ත්වය සන්සුන් වුණා.

ප‍්‍රශ්නය:- ඔබ මාතර දිසා විනිසුරු ලෙස වෙනත් විශේෂ අත්දැකීම් ලැබුවෙ නැත්ද?
පිළිතුර:- නඩුකාරවරයෙක් හැටියට පත්වන  ඕනෑම කෙනෙක් ඉඩම් නඩු පිළිබඳ තිබෙන නීති රීති හරියට ඉගෙන ගන්න නම් මාතර උසාවියෙ නඩු අහන්න  ඕනෑ. එහේ වැඩිපුරම තිබුණෙ ඉඩම් නඩු. ඒවත් ඉතාම සංකීර්ණ ප‍්‍රශ්න. ඒක තමයි මාතරදී විනිශ්චයකාරවරයකුට ලබා ගන්න පුළුවන් හොඳම අත්දැකීම.

ප‍්‍රශ්නය:- ඔය විදියට දිසා විනිසුරුවරයෙක් හැටියට හිටපු ඔබ ගැන අනාවැකි කියූ ඇතැම් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් කීවෙ, ඔබ කවදා හෝ මෙරට අගවිනිසුරු විය හැකි බවයි. නමුත් ඔබ මහාධිකරණයට නොගොස් ගමන් මග වෙනස් කළා. ඇයි ඒ?
පිළිතුර:- (සිනාසෙයි) ඇත්තම කියන්නම්. ඒ කාලෙ මේ රටේ මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක වුණා. මහාධිකරණ විනිසුරු තුමාටයි යම් චූදිතයෙක් එල්ලා මරන්න නියම කිරීමේ බලය තිබුණේ. ඉතින් මම බෞද්ධයෙක් හැටියට කිසිසේත්ම කැමැති වුණේ නැහැ යම් මනුස්සයෙක්ගෙ මරණ වරෙන්තුව මගේ අතින් ලියන්න. ඒක නිසා තමයි මම මහාධිකරණයට නොගියෙ.

ප‍්‍රශ්නය:- මහාධිකරණයට නොගිය ඔබ ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ අධිකරණ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් පදවියට පත්වෙනව. කොහොමද ඒක වුණේ. ජේ.ආර්. ඔබේ යාළුවෙක්ද?
පිළිතුර:- ජේ.ආර්. මගේ කිට්ටු මිත‍්‍රයෙක් නෙවෙයි. නමුත් එක දවසක් මම කොළඹ දිසා අධිකරණයෙ වැඩ කරන කාලෙ ලලිත් ඇතුලත්මුදලියි, ගාමිණී දිසානායකයි ඇවිල්ල කිව්ව ජනාධිපතිතුමා හම්බුවෙන්න කැමැත්තෙන් ඉන්නවය කියල. ඒ කාලෙ ජේ.ආර්.ගෙ පෞද්ගලික ලේකම් පදවිය දැරූ නිහාල් වීරතුංග මහත්මය විවාහ වෙලා හිටියෙ මගේ බිරිඳගෙ සහෝදරිය සමග. ඒ ගොල්ලො බෙලිඅත්තෙ අරන්වෙල වලව්වට සම්බන්ධ අය. ඉතින් කොහොම හරි මම ජේ.ආර්. හම්බවුණා. ඉතාම සුහදව කතා කරල කිව්ව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පදවිය භාරගන්න කියල.

ප‍්‍රශ්නය:- ඒ අනුව විනිශ්චයකාරතුමා ලේකම්තුමා හැටියට පත්වුණා?
පිළිතුර:- මම ලේකම් හැටියට යනවය කියන ආරංචිය ලැබුණාම කොළඹ ඉන්න ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසක් මම හම්බුවෙන්න ගෙදරට ආවා. ඇවිල්ල කිව්ව ”සර් මොකක්ද මේ කරගත්තෙ. ඇයි මේ තනතුර භාරගත්තෙ. සර් කොහොමද ඔය දේශපාලනඥයොත් එක්ක වැඩ කරන්නෙ. සර් යන්න එපා ඔය තනතුරට කියල.

ප‍්‍රශ්නය:- කිව්වත් වගේ ඒ කාලෙ ඔබ ප‍්‍රසිද්ධව හිටියෙ කෙලින් වැඩ කරන ඍජු තීරණ ගන්න විනිසුරුවරයෙක් හැටියටයි. කොහොමද දේශපාලනඥයො එක්ක ගනුදෙනු කළේ?
පිළිතුර:- අපොයි, ජේ.ආර්. ජයවර්ධන මහත්මයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. බුද්ධිමත් කෙනෙක්. අපි යමක් කිව්වම ඒක ටක් ගාල තේරුම් ගන්නව. ඉතින් ඒ කාලෙ මාධ්‍ය නිදහස ගැන නොයෙක් ප‍්‍රශ්න තිබ්බනේ මතකද? මම අධිකරණ අමාත්‍යාංශයෙ ලේකම් කාලෙ ගත් එක කැබිනට් තීන්දුවක් තිබ්බ පුවත්පත්වලින් අපහාස කිරීම වළක්වන්න. ඒ ඒ මාධ්‍ය ආයතනය කල් තබා යම් ඇප මුදලක් නියම කළ යුතුය කියල. මේ ඇප මුදල නියම කිරීමේ බලය දීල තිබුණෙ කැබිනට් මණ්ඩලයටයි.

ප‍්‍රශ්නය:- ඇයි ජේ.ආර්. ආණ්ඩුව ඒ තීන්දුව ගත්තෙ මාධ්‍ය මර්දනයට ද?
පිළිතුර:- කිව්වෙ නම් අපහාස කිරීම වළක්වන්නය කියලයි. මට මේක බැලූ බැල්මටම පෙනුන විශාල වරදක්ය කියල. පුවත්පතක් යම් කෙනෙකුට අපහාස කළොත් ඒකට විරුද්ධව උසාවි යන්න පුළුවනි. කැබිනට් එක මොකට ද ඒකට කල්තබා ඇප නියම කරන්නෙ. ඒ විදියට කළොත් මෙයින් මාධ්‍ය නිදහසට විශාල හානියක් වෙනවය කියල මට පෙනුණා. මේ ඇප ක‍්‍රමය අනුව ආණ්ඩුවට හිතවත් නැති පත්තරේකට රුපියල් ලක්ෂ පහක් දහයක් ඇප නියම කරන අතරේ ආණ්ඩුවෙ පත්තරේකට රුපියල් පන්සීයක ඇපයක් නියම කරන්න පුළුවනි. ඒක හරිම අසාධාරණයිනේ.

ප‍්‍රශ්නය:- ඔබ මේ වැරදි වැඬේ වළක්වන්න මොකද කළේ?
පිළිතුර:- මම ලිව්ව ජේ.ආර්.ටයි කැබිනට් එකටයි විශේෂ සන්දේශයක්. මේ තීරණය ක‍්‍රියාත්මක කළොත් ලංකාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ මූලික ප‍්‍රතිපත්තියට විශාල හානියක් වෙනවය කියල. ඒ වගේම කැබිනට් මණ්ඩලය මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට යෝග්‍ය බලධාරියෙක්ය කියල කිසිම අවස්ථාවක මම නොසිතන බවත් ලිව්ව. ලියල මේ සන්දේශය අපේ ඇමැතිතුමාට දුන්න කැබිනට් එකට දෙන්නය කියල. ඇමැතිතුමා මේක කියවන්නෙත් නැතුව ජේ.ආර්.ට දුන්නා. ජේ.ආර්. අරන් හොඳට දෙතුන් පාරක් කියවල, බොහොම බැ?රුම් විදියට කිව්වලූ ”අමාත්‍යාංශයෙ ලේකම්තුමාගෙ සන්දේශයෙ තිබෙන කරුණු හරි… අපි ඒක පිළිගනිමු” කියල. අන්තිමේ මාධ්‍ය ආයතනවලට ඇප නියම කරන්න කැබිනට් එකට බලය ගන්න හදාපු වැඩපිළිවෙළ එතනින්ම ඉවර වුණා.

ප‍්‍රශ්නය:- ඉතින් අධිකරණ අමාත්‍යාංශයෙ දිගටම හිටියද?
පිළිතුර:- පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණා. ජේ.ආර්. එක්ක වැඩ කරන්න ලේසි වුණාට සමහර ඇමැතිවරු එක්ක වැඩ කිරීම ලේසි වුණේ නැහැ. ඉතින් තවත් අයට වුවමනා වුණා මගේ තනතුර ලබා ගන්නත්. ඔය වගේ ප‍්‍රශ්න තිබ්බ. ඒ කාලෙ හිටපු ඇමැතිතුමා එක්ක වැඩ කිරීම එන්න එන්නම අමාරු වුණා. ඇමැතිතුමා අමාත්‍යාංශයට එන්නෙ නැහැ. මම ෆයිල් උස්සන් ගෙදරට යන්න  ඕනෑ. ඒව කරන්න මම කැමැති වුණේ නැහැ. ඇමැතිකම කරනව නම් සුමානෙකට දවසක්වත් අමාත්‍යාංශයට එන්න එපායැ.

ප‍්‍රශ්නය:- කව්ද මේ අරුම පුදුම ඇමැති?
පිළිතුර:- එතුමා දැන් නැහැ. ඉතින් නම කියන්න හොඳ නැහැනේ නේද? කොහොමහරි ජේ.ආර්. මේ ප‍්‍රශ්න ගැන දැනගෙන මගෙන් ඇහුව සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් හැටියට හුරුල්ලෙ ඇමැතිතුමා එක්ක වැඩ කරන්න කැමතිද කියල. මම හා කිව්ව. ඊට පස්සෙ සංස්කෘතික ලේකම් ධුරයට පත් කරල ලියුම එව්ව.

ප‍්‍රශ්නය:- සංස්කෘතික අමාත්‍යාංශයෙ ලේකම් හැටියට ඔබට දායක වෙන්න සිදුවූ වැදගත් සිද්ධීන් ඇති?
පිළිතුර:- ඔව් එකක් තමයි දැන් ඔය අපේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්මය ප‍්‍රතිසංස්කරණය කරවපු කොළඹ පැරැණි  ඕලන්ද රෝහල රජයට ගැනීම. ජේ.ආර්.ගෙ කාලෙ මේක රජයට අරන් ප‍්‍රතිසංස්කරණය කරන්න අපි හුඟක් මහන්සි වුණා. ජේ.ආර්. ළඟ තමයි අවසන් රැස්වීම තිබ්බෙ. හුඟක් අය දන්නෙ නැහැ මේක තමයි ආසියාවෙ එකම  ඕලන්ද රෝහල. ඒ බව සුප‍්‍රකට වෛද්‍ය ජී.සී. ඌරගොඩ මහත්මය විශේෂ ලේඛනයක සටහන් කරලත් තිබුණා. මම ලේකම් හැටියට ජේ.ආර්.ට කරුණු පැහැදිලි කරලයි ඔය රෝහල රජයට ගත්තෙ. නමුත් ඒක ප‍්‍රතිසංස්කරණය වුණේ නැහැ. මෑතකදී තමයි අපේ ආරක්ෂක ලේකම්තුමා ඒක කළේ.

ප‍්‍රශ්නය:- මා අසා තිබෙන හැටියට ඔබ රජයේ කුමන තනතුර දැරුවත් අසාධාරණ හා නීතියට පටහැනි දේ ඔබ ලවා ඉටුකරවා ගන්න බැරි වූ බව ප‍්‍රකට කරුණක්. මේ ගැන උදාහරණයක් දෙන්න පුළුවන් ද?
පිළිතුර:- ඔව්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ ප‍්‍රජා අයිතිය නැතිකරපු ජනාධිපති කොමිසම මතක ද? ඒක ජේ.ආර්. පත්කරපු බොහොම ප‍්‍රබල කොමිසමක්. කොමිසමේ පැමිණිල්ල මෙහෙයවූවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ බන්ටි සොයිසා. ඒත් ප‍්‍රබල කෙනෙක්. මම අධිකරණ අමාත්‍යාංශයෙ ලේකම් හැටියට කොමිසම හමුවට කැඳෙව්වා. එතනදි බන්ටි සොයිසට  ඕනෑ වුණා මැතිනියට විරුද්ධ තොරතුරු තිබෙන ලේඛන වගයක් කොමිසමට ඉදිරිපත් කරන්න. එයා එක පාරටම මට කිව්ව ලේකම්තුමා ඒක කළ යුතුයි කියල. මේවා මම සම්බන්ධ මගේ භාරෙ තිබුණ ලේඛන නෙවෙයි. මම වහාම නැගිටල කිව්ව මට ඒක කරන්න අයිතියක් නැහැ. මට කරන්න බැහැ කියල. මම දන්නැති ලිපි ලේඛන මම කොහොමද ඉදිරිපත් කරන්නෙ?
ප‍්‍රශ්නය:- බන්ටි සොයිසා ඒක ජේ.ආර්.ට පැමිණිලි කළාද? 
පිළිතුර:- කරන්න ඇති. කැබිනට් එකෙත් මේක සාකච්ඡා වුණාලූ. ඒ වුණාට මගෙන් ජේ.ආර්. ඒක ඇහුවෙ නැහැ. එයා දන්නව මම ඒ වගේ දේ නොකරන බව. මේ ගැන කොමිසමේ පෙනී සිටපු රාජනීතිඥ එස්. නඬේසන් මට ප‍්‍රශංසා කළා.

ප‍්‍රශ්නය:- ඔබගේ දිගුකාලීන සේවා ජීවිතයෙන් විශ‍්‍රාම ගත්තමත් ඔබට විවිධ රාජකාරි පැවරුණා නේද?
පිළිතුර:- ඔව්. රජයේ මුදල් කටයුතු හා රක්ෂණ කටයුතු පිළිබඳ ඔම්බුඞ්ස්මන් තනතුර, සෙලින්කෝ සමාගමේ දේපල පාලක තනතුර වගේ දේවල් කළා. මම දැන් පිළිකා සංගමේ සභාපති. ඒකෙන් හුඟක් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය:- ඔබේ සේවා ජීවිතය දිහා ආපසු හැරිල බලන කොට මොකද හිතෙන්නෙ?
පිළිතුර:- සතුටුයි. මම දැනගෙන සිතා මතා විහින් කාටවත් වරදක් කර නැහැ. ඉතින් මගේ ජීවිතේ පරමාර්ථ ඉටුවුණා කියල හිතනව. සිතේ සතුටනෙ ප‍්‍රධාන දෙය. ඒක මට තිබෙනවා.

ප‍්‍රශ්න කළේ – රන්ජිත් ආනන්ද ජයසිංහ / ඡායාරූප – ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: