//

භික්‌ෂුවක්‌ පන්සලෙන් නෙරපිය හැකිද?

This category contains 2 posts

මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි

මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි

සිරිමාවෝ බණ්ඩාරනායක රජය නවසිය හැටේ සහ හැටපහ අතර කාලය තුළ ජනතාවට පිරිමහින ප්‍රගතිශීලී වැඩ කොටස් රාශියක් ඉටුකළහ. ඒ අතරින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය  ක්‍රියාමාර්ග දියත් කිරීම ප්‍රධාන වේ.  මැතිණියගේ නායකත්වයෙන්  විශාල වැඩ කොටසක් ඉටු කෙරුණද ඇතැම් අනවශ්‍ය තීන්දු තීරණ නිසා රජය අප්‍රසාදයට පත් විය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කල යෝජනාවෙන් සිරිමා  රජය පරාජයට පත් වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ පණතට විරුද්ධව කේ.එම්.පී.රාජරත්න මහතා චන්දය භාවිතා කලේය.ඊට හේතුව ඔහු දැක්වූ ස්වාධීන මතයයි. 1965 මැතිවරණයෙන් රාජරත්න මහතා පරාජයට පත්වීමට ආසන්නම හේතුව එය නොවේ. ඔහු යටතේම දේශපාලනයේ අත් පොත් තැබූ පර්සි සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂය උදව් කිරීමයි.රාජරත්න මහතා නොකී කතාවකට මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දීම නිසා ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම එ.ජා.ප යේ එක් පියවරක් විය. කෙසේ වෙතත් අළුතෙන් පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ හිත දිනාගෙන සිටි රාජරත්න මහතා නිසා වැලිමඩ සහ ඌව පරණගම සිටි ඔහුගේ හිතවතුන්ද එක්සත් ජාතික පක්ෂයට ළබැඳිව කටයුතු කළ බව රාජරත්න මහතාගේ සමීපතමයෙකු වන මුහන්දිරම්ලාගේ කළුබණ්ඩා මහතා පවසයි.රාජරත්න මහතා දේශපාලනයෙන් සමුගෙන අධිනීතිඥවරයෙකු ලෙසට කටයුතු කළ අවදිය දක්වාම ඔහු සෙවණැල්ලක් මෙන් සිටි හිතෛෂි වන්තයෙකි.

ජාතික විමුක්ති පෙරමුණෙන් තරඟ කළද  සිරිමා රජයේ මන්ත්‍රීවරයෙකු වූ රාජරත්න මහතා වැලිමඩ ආසනයට සරිලන සේවයක් කිරීමටද අමතක නොකලේය. තමා අධ්‍යාපනය ලැබූ පළමු විදුහල වූ දඹවින්න විදුහල වැලිමඩ මධ්‍යමහා විද්‍යාලය බොරලන්ද විදුහල දිග්ගහපිටිය විදුහල වැනි විද්‍යාල රාශියකටම අඩුපාඩුවක් වූ ගොඩනැගිලි පහසුකම් ඇති කර දීමට ඔහුට පිළිවන් විය. බණ්ඩාරවෙල ගුරු විදුහල ආරම්භ කරන ලද්දේ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩු කාලයේදීය. ඒ සඳහා රාජරත්න මහතාගේ දායකත්වය ඉතා ඉහළින්ම විය.හැටේ දශකයට ප්‍රථම වැලිමඩ ප්‍රදේශය සාම්ප්‍රදායික ගොවිතැනින් යැපුණු ග්‍රාමීය පළාතක් විය. රාජරත්න මහතාගේ පියා වන ගංඇතිගේ අප්පුහාමි මහතා ඌව කොළතැන්න නමින් තේ කම්හලක් ආරම්භ කොට ඉංග්‍රීසීන් අභිබවා ගියේ මේ ආර්ථිකය වෙනස් කරන්නටයි.රාජරත්න මහතා මේ ඉඩම් ඇතැම් විට සිය හිතවතුන්ට බෙදා දුන්නේ නොමිලේ බව මුහන්දිරම් මහතා පවසයි. මැතිවරණ වලට වියදම් කිරීට ඇතැම් විට මේ ඉඩ කඩම් විකුණා දැමීය. වැලිමඩ ප්‍රදේශයේ අල වගාව නැන්වීමට රාජරත්න මහතා මුල් වූ බවද සාම්ප්‍රදායික ගොවියා ඉදිරියට ගෙන ඒමට කැපවූ බවද අද බොහෝ දෙනට අමතකය.ඔහුගෙන් ඉඩම් ලබාගෙන ගොවිතැනින් පොහොසත් වූ අය රාජරත්න මහතාට විරුද්ධව චන්දය භාවිතා  කලේ කළ ගුණ නොදත් පුද්ගලයනි මෙනි. ඒ පක්ෂ දේශපාලනයේ ස්වභාවයයි.

1970 වසරේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත් වූ රාජරත්න මහතා එහිදී ඉදිරිපත් කළ අදහස් මගින් රට තුළ මෙන්ම රජය  තුළද විශේෂ වෙනසක් ඇති කරන්නට සමත් විය. ස්ත්‍රී දූෂකයන්ට සහ මිනී මරුවන්ට මැති සභයට පැමිණීමට හැකි වන පරිදි පනතක් සම්මත කිරීමට උත්සාහ දරද්දී එයට සහමුලින්ම විරුද්ධ වූයේ කේ.එම්.පී.රාජරත්න මහතාය. මේ එදා ඔහු කළ කතාවයි.

අප වෙත ඉදිරිපත් කරන ලද පළමු වැනි පණත ගෙනාවේ මීනීමරුවන්ටත් ස්ත්‍රී දූෂකයන්ටත් මැති සභයට එන්න පුලුවන් තත්ත්වයක් ඇති කිරීම සඳහාය. ඒ පණත ප්‍රගතිශීලී පණතකැයි යමෙක් කියනවානම් ඔහු පිස්සෙක් මුග්ධයෙක් බේබද්දෙක් වන්ට ඕනෑ. ඒ පණත තරම් මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මැති ඇමතිවරුන්ට චන්ද දායකයන්ට හා ඔවුන්ගේ බුද්ධියට අවමාන කළ පණතක් මේ රටේ ඉදිරිපත් වී නැහැ.1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන  කල්හි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පත් කරන ලදී. මේ මණ්ඩලයය විසින් ගෙනා යෝජනා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සම්මත විය යුතු විය. මෙහිදී රජරත්න මහතා කළ කතා මගින් පැහැදිලි කරන ලද්දේ ව්‍යවස්ථා සම්පදානය සඳහා භික්ෂූන් වන්සේලාට ද අයිතියක් තිබෙන බවයි. 1970 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී දිනමිණ පත්‍රයේ පළවූ වාර්තාවන් උපුටා දක්වමින් කතා කල රාජරත්න මහතා අස්ගිරි මල්වතු අමර පුර සහ රාමඤ්ඤ යන ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය විසින්  ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු යෝජනා ගැන පළ කරන ලද අදහස් රාශියක් සෙනට් මන්ත්‍රී මන්ඩලය ඉදිරියේ සභාගත කළේය.  1970 ඔක්කෝබර් මස 17 දාතම සහිතව එය සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ තිස් වන වෙළුමට ඇතුලත් කර තිබේ. එහිදී  අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගොඩමුන්නේ ධම්මා නන්ද මල්වතු විහාරයේ මහානායක අතිපූජ්‍ය මඩුගල්ලේ ධම්මසිද්ධි ප්‍රමුඛ කොට ගත් උභය විහාරීය මහා සංඝ රත්නය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර තිබූ වටිනා අදහස් කීපයක් මෙසේ දැක්විය හැකිය.

1/ රජයේ ප්‍රධානියා සේනා සම්මත ජනාධිපති විය යුතුය.

2/ සිංහල බෞද්ධ රටක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති නිසාද බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වන නිසාද රටේ ප්‍රධනියා  බෞද්ධයෙක් ම විය යුතුය යන සම්මතය අවුරුදු දෙදහසකට වැඩි කලක පටන් පැවති නිසාද ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙකු විය යුතුය.

3/ අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ද්විපයෙහි ජනතාවගේ සදාචාරය සභ්‍යත්වය සංස්කෘතිය සාහිත්‍යය කලාශිල්ප අධ්‍යාත්මික ගුණ වගාව යනාදිය සංවර්ධනය කිරීමේලා උපයෝගී වූ අසහාය බලවේගය බවට සිද්ධානත්ව පවත්නා බුද්ධ ශාසනයද එහි කටයුතුද සංඝයා වහන්සේලාද පූජනීය වස්තූ සහ විහාරස්ථනයන්ද වත් පිළිවෙත් පුද පූජා අඛණ්ඩව පැවැත්වීමට සලස්වා තිබෙන විධිවිධානයන්ද සිංහල රජ කාලයේ මෙන්ම අනාගතයෙහි ද ස්ථීරව පැවැත්වීමට සහ ආරක්ෂා කිරීමද මෙම රජය විසින් කළ යුතු වේ.

4/ ආගමික කටයුතු පිළිබඳව බුද්ධගමට සහ සංඝයා වහන්සේලාටද බෞද්ධයන්ටද අවුරුදු දහස් ගණනක් මුලුල්ලේ හිමිව තිබුණ විදේශීය පාලන යුගයෙහි නැතිවී ගිය සාධාරණ හිමි කම් වරප්‍රසාද හා විශේෂ සහනයන් මේ රජය විසින් තහවුරු කරනු ලැබේ.ඒ සඳහා අවශ්‍ය විධිවිදාන සැලැස්වීමේදී මේ රටේ පවත්නා ආගම් බුද්ධාගම හා සම තත්ත්වයෙන් නොසලකනු ලැබිය යුතුය.

5/ සංඝයා වහන්සේලාගේ විනය කර්ම චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර නිකාය පාලක සංඝ සභා නොහොත් පාලක මණ්ඩලය එහි අභ්‍යන්තර කටයුතු යන මේවා කෙරෙහි බලපානා අණ පණත් රෙගුලාසි ව්‍යවස්ථා ආඥා ව්‍යවස්ථාදායක මණ්ඩලය හෙවත් රජය විසින් නොපැනවිය යුතුය.

රාජරත්න මහතා විසින් සභාගත කළ අනෙක් යෝජනා අතර ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ කාරක  සංඝ සභා රැස්වීමේදී ගත් තීරණයක්ද විය.1970 /9/20 දිනමිණ පත්‍රයේ පළවූ එය යොජනා 11 කින් සමන්විත විය.එම යෝජනා සකස් කරන ලද්දේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායකව සිටි දීපේගොඩ චන්ද විමල හිමියන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේලා ගේ මූලිකත්වයෙනි. එම යොජනා අතරින් කීපයක් මෙසේය.

1/ ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතුය. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව අභිනව ආණ්ඩුක්‍රම පනතින් ප්‍රකාශයට පත් විය යුතුය. ප්‍රජා පාලනය පිලිබඳ බෞද්ධ මූල ධර්ම පදනම් කොට අභිනව ආණ්ඩු ක්‍රම පණත සකස් විය යුතුය.

2/ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති ධූරයද අග්‍රාමාතය  පදවියද සිංහල බෞද්ධයෙකු සතු විය යුතුය. අභිනව ජන රජය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඒකීය පාලන ක්‍රමයක් විය යුතුය.

3/ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය වැනි බුද්ධ ශාසනයද බෞද්ධ සංස්කෘතියට අයත් අංගෝපාංගයන්ද ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවක් ආණ්ඩුක්‍රම පණතෙහි අතුලත් විය යුතුය.

4/ බෝ පත් සතර සහිත පැරණි සිංහ කොඩිය අභිනව ජනරජයේ කොඩිය විය යුතුය.

5/ නව ආණ්ඩුක්‍රම පනත යටතේ රාජ්‍යෝපදේශක මන්ඩලයක් පිහිටු විය යුතුය. අභිනව ජනරජය යටතේ ධර්මාමාත්‍ය පදවියක් ඇති කොට සියලු ආගමික කටයුතු ඒ හා සම්බන්ධ කටයුතුය.

6/ සිංහලයාට අයත් සාධාරණ තැන ලාබා දෙනු පිණිස තාවකාලිකව හෝ ජාතින්ගේ අනුපාතය අනුව පොදු අයිතිවාසිකම් බෙදී යන නීති රීති අභිනව ආණ්ඩුක්‍රම පනතෙහි ඇතුලත් විය යුතුය.

රාමඤ්ඤ නිකායට පසු අමරපුර නිකායට අයත් මහා සංඝරත්නය රැස්වී ආණ්ඩුක්‍රම මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාද සභාගත කෙරිණ. ඒ වායින් සමහරක් මෙසේය.

1/ බුද්ධාගම රාජ්‍ය ආගම කල යුතු අතර සිංහල භාෂාව නියම වශයෙන්ම රාජ්‍ය භාෂාව කළ යුතුය.

2/ පක්ෂ දේශපාලනය අහෝසි කළ යුතු අතර මහජන චන්දයෙන් තෝරා පත් කෙරෙන සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු පත් කළ යුතුය.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට අමතරව රත්තොට ප්‍රාදේශිය මහා සංඝ සභාව  වයඹ පළාතේ ත්‍රෛනිකායික සංඝ සභාව   වැනි සංඝ සභාවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉතා වැදගත් යෝජනා කීපයක්ද රාජරත්න මහතා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සභා ගත කරන ලද්දේය. ඒ යෝජනා අතර ද ඉතා වැදගත් අදහස් රාශියක් විය. ඒ මෙසේය.

1/ තෙරුවන් සන්තක දේපළ අන්සතු වීම වළක්වන නීති රීති සකස් විය යුතුය.

2/තුන් නිකායේ පාලක මූලස්ථාන මගින් ඒ ඒ නිකායික භික්ෂූන් පිළිබඳව පොදු නීති මාලා ( කතිකාවත්) සම්පාදනය කරවා සම්මත කළ යුතුය.

3/ අලුත් ජන රජයට අනුශාසනා කිරීමට රාජ්‍යානුශාසනා උත්තරීතර මණ්ඩලයක් පිහිටවනු ලැබිය යුතුය.

4/ 1958 පනවන ලද කුඹුරු පනතින් සඟසතු දේපල වලට හානි වී ඇති හෙයින් එසේ නොවන පරිදි අඳ ගොවියාගෙන් ඒවා මුදා ගැනීම සඳහා නීති සම්පාදනය කල යුතුය.

5 / ජන රජය බෞද්ධ ප්‍රතිපත්ති පසුබිම් කොට ගත් බෞද්ධ රාජ්‍යයක් ලෙස පිහිටුවීමට කටයුතු කළ යුතුය.

මෙම යෝජනා සියල්ලේම සාරංශය වශයෙන් ගත් කල්හි ලංකාව බෞද්ධ රටක් බවට  නැවත පත් කිරීම මහා සංඝරත්නයේ මූලික අභිලාශයයි. රාජ්‍ය නායකයා බෞද්ධයෙකු වීමත් ප්‍රධාන භාෂාව සිංහල වීමත් කඩ කල නොහැකි කොන්දෙසි වේ. ඒකීය රාජ්‍ය සංකල්පයද මෙයට ඇතුළත් වේ.ත්‍රෛයිනිකායික මහා  සංඝ රත්නය තුළින් මතු වූ මේ යෝජනා පත්‍රවල පළ වූ නමුත් ආණ්ඩු ක්‍රම සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් වූ නමුත් එතරම් සැලකිල්ලකින් ඒ දෙස බැලීමක් එකළ නොවූ බව පෙනේ. නමුත් මේවා සභාගත කොට එයට පිළිගැනීමත් ලබා දී ඇත්තේ කේ.එම්. පී.රාජරත්න මහතා විසිනි. රෙජිනෝල්ඩ් පෙරේරා වැනි සෙනෙට් මන්ත්‍රී වරුන් මෙම යෝජනා වලට  කලේ කල අකලේ යයි සිනාසුණ ආකාරයද සෙනෙට් වාර්තා වල දක්වා තිබේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදනයේදී අතීත රජදරුවන්ගේ සිට භික්ෂූන් වහන්සේලා ගේ දායකත්වය සහ අනුශාසක්තවය ලැබුණු බව ප්‍රකට කිරීමට මෙම සභාගත කිරීම බෙහෙවින්ම වැදගත් වූ බව කිව යුතුය.වසර හතලිස් පහකට පසුව  වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කිරීමට අර අඳී. කලින් සකස් කරන ලද කෙටුම්පතකට මහජන අදහස් එහෙන් මෙහෙන් ලබා ගෙන ආණ්ඩු ක්‍රම සම්පාදකයන්ගේ වුවමනාවන් සම්මත කර ගැනිම මෙහි අභිප්‍රායයි. මහානායක හිමිවරුන් ගෙන් විශේෂ යෝජනා ලබා ගැනීමක් මෙහිදී සිදු වන්නේ නැත. එම නිසා අතීත ආදර්ශයන් පදනම් කොට ගෙන   ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය යෙන්ම සිදු විය යුත්තේය. කේ.එම්.පී.රාජරත්න මහතා එදා සිදු කළ සභාගත කිරීමට වටිනාකමක් සහ ගෞරවයක් හිමිවන්නේ එවිටයි..

2016/01/18 දිවයින

Advertisements

භික්‌ෂුවක්‌ පන්සලෙන් නෙරපිය හැකිද?

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
ගරු අනුශාසක – සමස්‌ත ලංකා
ශාසනාරක්‍ෂක මණ්‌ඩලය

තමන් දායකකම් කරන පන්සලේ වැඩ සිටින භික්‌ෂුන් වහන්සේට දෝෂාරෝපණ කරමින් උන්වහන්සේ පන්සලෙන් නෙරපන්නැයි දායක පිරිස්‌ භික්‌ෂු මූලස්‌ථානවලට පෙත්සම් ඉදිරිපත් කිරීම නිතර සිදුවන දෙයකි. ඇතැම් විට එසේ කරන්නේ නිලතල පත්කිරීමේදී දායක සභා දෙකඩ වීමෙනි. ඇතැම් ගිහියෝ භික්‌ෂුන්ට ඉතා අශ්ලීල වචනවලින් චෝදනා හා නින්දා අපහාස එල්ල කරමින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත නාමික හා නිර්නාමික ලිපි යවති. එයින් සිදුවන්නේ රජයේ ආගමික අංශවල නිලධාරීන් ඒවා කියවා සිනාසීම හා භික්‌ෂුන් කෙරෙහි කළකිරීම පමණි. භික්‌ෂුන්ගේ පෞද්ගලික චර්යාවන් පිළිබඳ ප්‍රශ්න විසඳීමේ නීත්‍යනුකූල බලයක්‌ ඒ කිසිවකුට හෝ සමස්‌ත ලංකා ශාසනාරක්‌ෂක මණ්‌ඩලයට නොමැත. භික්‌ෂුන්ගේ නොයෙකුත් අඩුපාඩුකම් තිබෙන බව ඇත්තකි. සිවුරක්‌ දැරූ පමණින් පුද්ගලයකුගේ දුබලකම් දුරුවේ යෑයි සිතීම වැරැදිය. නමුත් තම අඩුපාඩුකම් හැකිතරම් නැතිකර ගෙන ගුණදම් වැඩිදියුණු කරගැනීම භික්‌ෂුවකගේ වගකීමකි. එසේම ආගමික හා සාමාජික වශයෙන් දායකයන්ට උපකාර කිරීම ද භික්‌ෂුවට පැවරුණ දෙයකි.

කිසියම් විහාරස්‌ථානයක වැඩ සිටින භික්‌ෂුවක්‌ සම්බන්ධයෙන් විස¹ ගත නොහැකි පැමිණිල්ලක්‌ වෙයි නම්, එය ඉදිරිපත් කළ යුත්තේ උන්වහන්සේ අයත් නිකාය පාර්ශ්වයේ පාලක සංඝ සභාවටය. එම අර්බුදය පළාතේ අධිකරණ සංඝනායක හිමියන් ලවා විසඳිය නොහැකි නම්, චෝදක හා චූදිත දෙපාර්ශ්වය කැඳවා පාලක සංඝ සභාව ඉදිරියේ නඩු විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ලබාදීම සෑම නිකායක්‌ විසින්ම අනුගමනය කරනු ලබන සම්ප්‍රදායයි.

භික්‌ෂුන් වහන්සේ නමක්‌ පන්සලකින් නෙරපීමට නීතිමය වශයෙන් හැකියාවක්‌ තිබේ ද? යන්න මෙහිදී විමසිය යුත්තකි. සාංඝික වශයෙන් පූජා කෙරුන ස්‌ථානයක වැඩ සිටින භික්‌ෂුවක්‌ එයින් නෙරපීමට කිසිවකුට නීතියෙන් අවසරයක්‌ නොමැත. සාංඝික දේපළක්‌ යනු සියලු භික්‌ෂුන්ට පොදු වූවකි. ඒ, එය භුක්‌ති විඳීමේ අයිතිය සෑම භික්‌ෂුවකටම තිබෙන බැවිනි. එහෙත් භික්‌ෂුවකගේ පෞදිගලික චර්යාව තුළින් බුද්ධ ශාසනයට හානිදායක හා විනය විරෝධී බව තහවුරු වෙයි නම්, එවැනි භික්‌ෂුවකට පන්සලෙන් ඉවත්වන ලෙස නියම කිරීමට විහාරාධිපතිට හැකි බව ‘ධම්මජෝති එරෙහි ටිකිරිබණ්‌ඩා 1881 (4) පි. 21’ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදී අගවිනිසුරු කේලි පවසා ඇත. මල්වතු විහාරයේ නඩු තීන්දුවකින්ද එය තවදුරටත් තහවුරු වී තිබේ. ‘පියදාස එරෙහිව දේවමිත්‍ර’ (23 නව නීති වාර්තා පි. 24) නඩු තීන්දුවේ සම්පායෝ නඩුකාරයා සඳහන් කොට තිබෙන්නේ, විහාරාධිපති භික්‌ෂුවකගේ පාලන කටයුතුවලට දිගින් දිගටම බාධා කරමින් හැසිරෙන දේවමිත්ත හිමි මල්වතු මහා විහාරයෙන් නෙරපීම නීත්‍යනුකූල බවයි. එම තීන්දුවේ තවදුරටත් මෙසේ විග්‍රහ වෙයි. ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පැවතෙන භික්‌ෂුන් වහන්සේට එම පන්සලේ ආදායමෙන් යෑපෙමින් වාසය කිරීමට අයිතියක්‌ ඇත. එහෙත් ධර්ම විනයානුකූලව හා විහාරාධිපතිට අකීකරුව හැසිරෙයි නම්, එවැනි භික්‌ෂුන් නෙරපීමට පුළුවන.

‘ධරමරත්න එදිරිව ඉන්දසාර ස්‌ථවිර’ (47 නව නීති වාර්තා පි. 460) නඩුවේ තීන්දුව ද මෙහිදී වැදගත්ය. වැලිගම අග්‍රබෝධි විහාරාධිපති ඉන්දසාර හිමි නඩු පවරා තිබෙන්නේ තම විහාරස්‌ථානයේ පෝයගෙයි පදිංචි තම ශිෂ්‍යයා නෙරපීමට අධිකරණ නියෝගයක්‌ ලබාගැනීමට යි. නේවාසික භික්‌ෂුවක්‌ සාංඝික දේපළකින් නෙරපීමට නීති විරෝධී බවට තර්ක කරනු ලැබුවත්, එම ශිෂ්‍ය භික්‌ෂුව ගුරුවරයාට අකීකරුව, හිතුවක්‌කාර ලෙස හැසිරෙන බව ඔප්පු කිරීම නිසා පන්සලෙන් නෙරපීමට නියෝග ලබාදී ඇත. ලියාපදිංචි ශිෂ්‍ය භික්‌ෂුන් ද කිසියම් අමනාපයක්‌ හේතුවෙන් පැවිදි ගුරුවරයාගෙන් වෙන්ව ජීවත්වන අවස්‌ථා තිබේ. ශිෂ්‍යභාවය නීත්‍යනුකූලව අහෝසි නොකළොත්, ශිෂ්‍යයකු වශයෙන් අයිතිවාසිකම් නොසිඳී පවතියි. ලියාපදිංචි ලේඛනවලින් ශිෂ්‍යභාවය ඉවත් කරන ලෙස භික්‌ෂු මූලස්‌ථානයට දැනුම්දිය යුතුයි. ශිෂ්‍යභාවයෙන් නෙරපීමේ බලය පැවිදි ගුරුවරයකුට තිබෙන නමුත්, එය කළයුත්තේ ස්‌වභාව යුක්‌ති ධධර්මයට අනුව ශිෂ්‍යයාට කරුණු කීමට අවස්‌ථාව ලබාදීමෙනි. ශිෂ්‍යයාගේ අකීකරු හා විනය විරෝධී බව තහවුරු විය යුතුය.

කිසියම් සංවිධානයක්‌ සතු ඉඩමක හෝ පෞද්ගලික ඉඩමක දායක පිරිසක්‌ එක්‌ව විහාරස්‌ථානයක්‌ ඉදිකළොත් එහි වැඩ සිටින භික්‌ෂුවට දේපළ පිළිබඳ අයිතිවාසිකම් නොමැත. සාංඝික කිරීමෙන් භික්‌ෂුන්ට පවරා නොදුන් එබඳු විහාරස්‌ථාන හැඳින්වෙන්නේ ගිහි සන්තක පන්සල් වශයෙනි. එවැනි තැනක වැඩ සිටින භික්‌ෂුවක්‌ නෙරපීමේ බලය ගිහියන් සතුවෙයි. එයට බාධාකිරීමේ නීතිමය බලයක්‌a භික්‌ෂු මූලස්‌ථානවලට නොමැත. නමුත් එය පහසුවෙන් කළ හැකි දෙයක්‌ නොවේ. කලක්‌ තම කැමැත්තෙන් නේවාසිකව තබාගත් භික්‌ෂුවක්‌ නෙරපීමට හැකිවන්නේ විනය විරෝධී චර්යාවන් හා සාධාරණ හේතු අධිකරණයට ඉදිරිපත් කිරීමෙනි. භික්‌ෂුවක්‌ නෙරපීමේ දී නීතිමය ගැටලු හා සමාජයෙන් උද්ඝෝෂණ මතුවෙයි. උන්වහන්සේ පන්සලේ දියුණුවට කළ කැප කිරීම් වෙනුවෙන් වන්දි ගෙවන්නට ද සිදුවෙයි. පෞද්ගලික දේපළ වශයෙන් පවතින විහාරස්‌ථානවලින් භික්‌ෂුන් ඉවත් කෙරුන අවස්‌ථා පිළිබඳ නඩු තීන්දු රාශියක්‌ ඇත.

‘වේරහැර විමලසාර තෙරුන්නාන්සේ එදිරිව පොරොලිස්‌ ප්‍රනාන්දු’ (56 නව නීති වාර්තා පි. 369) නඩුවේ ඉදිරිපත් වූ කාරණය වුණේ බෞද්ධයන් දෙපළක්‌ ආගමික කටයුතු සඳහා භාරයක්‌ පිහිටුවා එයට ඉඩමක්‌ ලබාදීමයි. එහි භාරකරුවන් වූයේ ගිහියන් දෙදෙනෙකි. එහි වැඩ සිටින භික්‌ෂුන් වහන්සේ එම ස්‌ථානය සාංඝික බව පවසා ශිෂ්‍යානුශිෂ්‍ය අයිතියට අධිකරණයේදී තර්ක කළහ. එය සාංඝික නොකළ ස්‌ථානයක්‌ බව තහවුරු විණි. ඒ හේතුවෙන් හා අයහපත් හැසිරීම හේතුවෙන් භික්‌ෂුන් ඉවත් කිරීමට භාරකරුවන්ට අවසර තිබෙන බවට තීන්දු කෙරිණි. ගාලු කොටුවේ දිගුකලක්‌ පැවැති සුධර්මාරාමයේ අයිතිය සම්බන්ධයෙන් ඇතිවූ හබයක්‌ ‘වික්‍රමසිංහ එදිරිව උන්නාන්සේ’ (22, නව නීති වාර්තා පි. 236) නඩුව යටතේ දැක්‌වෙයි. එය සාංඝික වශයෙන් භික්‌ෂුන්ට පිදූ දේපළක්‌ නොව පෞද්ගලික වූවක්‌ බවට ෂෝ විනිසුරුතුමා තීරණය කළේය. ‘උඩුවේ විමලරංසි එදිරිව සී.ඡේ.සී.මැතිව්’ (65 නව නීති වාර්තා පි. 351) නඩුවේදී පන්සලේ භාරකරු ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකාර භික්‌ෂුන් විහාරස්‌ථ ධර්ම ශාලාවෙන් ඉවත් කර දෙන ලෙසයි. එම ධර්මශාලාව සඟ සතු දේපළක්‌ නොවීම එයට හේතු වශයෙන් ඉදිරිපත් කෙරිණි. එම අයිතියට භික්‌ෂුහු අභියෝග නොකළහ. ඒ නිසා, භික්‌ෂුන් ධර්ම ශාලාවෙන් නෙරපීම අධිකරණය අනුමත කළේය. එහෙත් සාංඝික ආවාස ගෙයින් භික්‌ෂුන් ඉවත් කිරීමට නඩු තීන්දුවෙන් බලපෑමක්‌ නොවිණි.

මෙබඳු නීතිමය වාතාවරණයක්‌ යටතේ වැඳුම් පිදුම් සිදුකරන තැන්වල නේවාසිකව වැඩසිටින භික්‌ෂුන්ට එම ස්‌ථාන සම්බන්ධයෙන් නීත්‍යනුකූල අයිතියක්‌ නොලැබෙන බව පැහැදිලිය. රජයේ බලපත්‍රයෙන් ලැබුණ ඉඩමක පන්සලක්‌ සාදන්නේ නම් එම බලපත්‍රය නීත්‍යනුකූලව භික්‌ෂුවගේ නමට පවරාගත යුතුය. නැතිනම්, බලපත්‍රලාභියා ඉඩමට අයිතිවාසිකම් කියනු ඇත. මහවැලි සංවර්ධන කලාපයේ ඉදිකර ඇති පන්සල් සාංඝික බවට පත්වුණේ ජනාධිපතිවරයා මෑතකදී පූජා ඔප්පු ප්‍රදානය කිරීමෙනි. මෑතකදී එක්‌තරා පන්සලක බෝධිය සහිත ඉඩම එහි මුල් අයිතිකරුවන් විසින් වෙනත් භික්‌ෂුවකට ඔප්පුවකින් පවරා දෙනු ලැබිණි. ඒ හේතුවෙන් පැරැණි පන්සලට ඉතිරි වුණේ ලැගුම් ගෙය පමණි. එයට යාබදව වෙනම පිරිවෙණක්‌ ඉදිකොට ඇත. පන්සල් දේපළ නිරවුල්ව නොපැවැතීම නිසා එබඳු අර්බුද ඇතිවෙයි. බොහෝ විහාරස්‌ථාන කුමන පදනමක්‌ යටතේ පිදුවේද? යන්න ඇපැහැදිලය. ඇතැම් දායකයන් වාචිකව වෙන්කර දුන් ඉඩම්වල විහාරස්‌ථාන ඉදිකොට ඇත. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ආරවුලකින් තොරව පරිහරණය කෙරුණ නිසා බොහෝ පන්සල් කාලාවරෝධ නීතිය යටතේ නීත්‍යනුකූල වෙයි. යම් විහාරස්‌ථානයක්‌ ජීවත්ව සිටින කිසිවකු නොදන්නා කාලයක සිට පැවත එයි නම්, එය මතකයෙන් ඉක්‌මවූ කාලයක සාංඝික කළ දේපළක්‌ බව නීතියෙන් පිළිගත යුතු බව ෂෝ විනිසුරුවරයා පවසා ඇත.

සාංඝික පන්සලක්‌ යනු සිව් දිගින් වඩින භිකෂුන්ට චාරිත්‍රානුකූලව පුදන ලද්දකි. එම සංකල්පය අනුව ඕනෑම භික්‌ෂුවකට පන්සලක නේවාසිකව සිටින්නට පුළුවන. එහෙත් විහාරාධිපති බලතල, නිකාය හා ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරා ක්‍රමය මත පදනම් වූ වර්තමාන නීතිය සාංඝික සංකල්පයෙන් බැහැරවී ඇත. නිකායට, ශිෂ්‍ය පරම්පරාවට අයත් නොවන භික්‌ෂුවකට පන්සලක නේවාසික විය හැක්‌කේ විහාරාධිපති හිමියන්ගේ කැමැත්තෙන් පමණි. විහාරස්‌ථාන පාලනය යටතේ එහි යහපත් පැත්තක්‌ද තිබේ.

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!