//

මඩ වෙබ් අඩවි

This category contains 3 posts

සමහර වෙබ් අඩවි අසත්‍ය වපුරන කැලෑ පත්තර වෙලා

සමහර වෙබ් අඩවි අසත්‍ය වපුරන කැලෑ පත්තර වෙලා

ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

ඩබ්ලිව්. බී. ගනේගල source:

සීමා පැනවෙන්නේ චරිත ඝාතනය කරමින් සදාචාර විරෝධී ලෙස වගකීම් විරහිතව කටයුතු කරන වෙබ් අඩවිවලට පමණක් බවත් මෙවැනි විකෘති අදහස් පළ කරන වෙබ් අඩවිවලට සීමා පැනවීම මාධ්‍ය නිදහසට සීමා පැනවීමක් ලෙස පෙන්වන්න හදන්නේ ඔළුව නරක් වූ අය බවත් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පවසයි.

සිළුමිණ සමඟ වෙබ් අඩවි තහනම ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ ප්‍රකාශය කළේය.

එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට ලේකම්වරයා දුන් පිළිතුරු මෙසේ ය.

 

ජනමාධ්‍ය අමාත්‍යාංශය පටන්ගත් වෙබ් අඩවි ලියා පදිංචිය හා වෙබ් අඩවිවලට සීමා පැනවීම ගැන කතා කළොත්.

අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ මෙරට හෝ පිටරට ඉඳගෙන මේ රට ගැන ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ගැනයි. පුද්ගලයන්ට මඩ ගසමින් අසත්‍ය පෙන්වන මාධ්‍ය ආචාර ධර්ම කෙලසමින් කටයුතු කරන වෙබ් අඩවිවලටයි සීමා පනවන්නේ. ජනමාධ්‍ය ආචාර ධර්ම අනුව පවත්වාගෙන යන වෙබ් අඩවි සම්බන්ධයෙන් ඒ නිදහස අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරනවා.

 

දැනට වෙබ් අඩවි දහයකට බාධක පනවා තිබෙන බව කියනවා…?

නියම ගණන මම දන්නේ නැහැ. ඇත්ත වෙන්නත් පුළුවන්. කීපයකට බාධා කිරීම් කරල තියනවා. ඒක කරන්නේ වෙනත් ආයතනයකින්නේ. විදුලි සන්දේශ නියාමන කොමිසමෙන්.

 

හදිසියේ වෙබ් අඩවි තහනමට ගත් මේ පියවර සාධාරණීකරණය කරන්නේ කොහොම ද?

මේක හදිසියේ ගත් පියවරක් නෙවෙයි. මෑත කාලේ ඇතැම් වෙබ් අඩවි කළ ප්‍රචාර ගැන අපි බලා උන්නා. ප්‍රශ්නගත වෙබ් අඩවිවල ප්‍රචාරය වන ප්‍රවෘත්ති ගැනයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නෙ. ඒ ගැන මටත් වගකීමක් තියනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට. අපේ ජනමාධ්‍ය ඇමැතිතුමාට වගකීමක් තියෙනවා ජනමාධ්‍යවල පළවන ප්‍රවෘත්ති හෝ වෙනත් අන්තර්ගතයන් පිළිබඳව. ඇමැතිතුමාගේ අධීක්ෂණය යටතේ එතුමාගේ ලේකම්වරයා ලෙස මටත් ඒ අයිතිය පැවරෙනවා.

 

මහජන පැමිණිලි අනුව වෙබ් අඩවිවලට විරුද්ධව මේ පියවර ගත් බව ඔබ කිව්වා?

මහජනයාගෙන් විවිධ පාර්ශ්වවලින් අපේ අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි අනුවයි මේ පියවර ගන්න ඕන වුණේ. මේ වෙබ් අඩවිවල පළවන මේ ඊනියා පුවත්වලින් අසහනයට පීඩාවට නැතිනම් චරිත ඝාතනයට නැතිනම් ඒ අයගේ පෞද්ගලිකත්වයට පහර එල්ල වූ විශාල පිරිසක්ගෙන් අපට පැමිණිලි එන්න පටන් ගත්තා. ඒ නිසා මට සිදුවුණා ඒ ගැන සොයා බලන්න. මාස දෙකක් විතර කාලයක් තිස්සේ අපි මේ වෙබ් අඩවිවල පළවන දේ ගැන සොයා බලා තොරතුරු එකතු කළා.

ඔය කියන වෙබ් අඩවි බොහොමයක් කිසිම පදනමක් නැතිව අසත්‍ය වපුරන මඩ ගැසීම් කරන කැලෑ පත්තර බව එහිදී අපට පෙනී ගියා. ඒවයේ බොහො වෙලාවට පළවෙලා තිබුණේ ප්‍රවෘත්ති නෙවෙයි. ඒ පළවන දෑ ප්‍රවෘත්ති කියන ඒවටත් නින්දාවක්. ජනමාධ්‍යයට ජනමාධ්‍යවේදීන්ට කරන නිග්‍රහයක්. ඒ නිසා මේ ප්‍රශ්න ගත හඳුනාගත් වෙබ් අඩවි ගැන අපට ගත හැකි නීත්‍යානුකූල පියවර අපි ගත්තා.

මීට මාස කීපයකට පෙර විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් අසභ්‍ය වෙබ් අඩවි රාශියක් උසාවියේ නියෝග අනුව වාරණය කරනු ලැබුවා. ඒ එක ක්‍රමයක්. ඊළඟට අපි මේ එකතු කරපු තොරතුරු අනුව මේවා පරීක්ෂා කර බලා මම ඉල්ලා සිටියා මගේ වගකීම අනුව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් මේ මේ වෙබ් අඩවිවල අසභ්‍ය, අපහාසාත්මක, චරිත ඝාතන ස්වභාවයේ ලිපි පළකර තියෙනවා. ඒවාට අයිතිකරුවෙක් නැහැ.

ඒ ප්‍රවෘත්තිවල මූලාශ්‍ර නැහැ. ඒ තොරතුරු ගත්තෙ කොහෙන්ද කියල නැහැ. ඒවා ලිව්ව මාධ්‍යවේදියා කවුද කියලා අපට දැනගන්න නැහැ. ඒ මාධ්‍ය ආයතනය ලංකාවේ ද තියෙන්නෙ පිටරට ද තියෙන්නෙ නැතිනම් උඩු ගුවනේ තියෙන එකක් ද කියල කිසි කෙනෙක් දන්නෙ නැහැ. හැබැයි මේවායේ තියන විස්තර අපහාසාත්මකයි. මේක අර හැංගිලා ඉඳගෙන කරන සෙල්ලමක්. ඒ නිසා මේ ගැන මම ඉල්ලීමක් කළා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන්. ඒ බලය තියෙන්නෙ ඒ ගොල්ලන්ට මේ වෙබ් අඩවි ලංකාව තුළ තාවකාලිකව අවහිර කරන්න කියලා.

 

නිල් වෙබ් අඩවි තරමටම මේ ප්‍රශ්න ගත වෙබ් අඩවිත් රටට හානිකරයි කියල ඔබ කියන්නෙ…?

ඔව්. මේ රටට, මේ ප්‍රතිරූපයට හානිකරයි. මේවා අපේ පාසල් දරු දැරියෝ පවා බලනවා. මේව බැලුවම අපේ අනාගත පරපුරට කුමක් ද වෙන්නේ. මේ ඇතැම් වෙබ් අඩවි වලින් තවත් වෙබ් අඩවි වලට සම්බන්ධතා (ලින්ක්) තියනවා. ඔබ නිල් වෙබ් අඩවි ගැන කතා කළා. බලන කෙනා ආකර්ෂණය කරගන්න නිරුවත් පින්තූර පවා මේවයේ යොදාගෙන තියනවා. මේ අය මේ ජනතාව කොහාටද ඇදගෙන යන්න හදන්නෙ. මේ පින්තූරත් ඇතැම් විට හදපුවා. ඇතැම් විට නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයට ලංකාවේ කාන්තාවකගේ ඔළුව සවි කරනවා. මෙය මහා සමාජ ව්‍යසනයක ආරම්භයක් පැහැදිලිවම. ඒ නිසා ඒ හඳුනාගත් වෙබ් අඩවි කීපයක මා ලබාදුන් තොරතුරු අනුව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විකාශය අවහිර කර තියනවා. ලංකාව තුළ ඒව බැලීම නවත්වන්න.

 

අන්තර්ජාලයේ ස්විචය නිවා දමන්නේ නැතිව මේව වාරණය කිරීමට බැරි යැයි මා කිව්වොත්?

වෙනත් මාර්ගවලින් ප්‍රොක්සිවලින් ඒවට යන්න පුළුවන් බව අපි දන්නවා. අන්තර්ජාලය හරියට හුළඟ හමනවා වාගේ දෙයක්. මේ අපි අවට හුළඟ තියෙන්නේ. අන්තර්ජාලයත් ඒ වගේ තමයි. ඔය කියන විදියේ අවහිර කිරීමක් කරන්න අපට තාක්ෂණයක් තවම ලංකාවේ නැති බව ඇත්ත. නමුත් අපි ගන්න පියවර නිසා මේව බැලීම හුඟක් සීමා වෙලා තියනවා. මහජනතාව, ළමයි මේව බලන එක අඩුවෙලා තියෙනවා. මෙවැනි වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන විරෝධයක් තියෙනවා. දැන් ඒක කරළියට ඇවිල්ලා තියෙනවා. වගකිව යුතු පුවත්පත් කර්තෘවරුන් මාධ්‍යවේදීන් මේ අවිචාරවත් කිසිම ආචාර ධර්මයකට අඩංගු නැති අයාලේ යන වෙබ් අඩවිවලට විරුද්ධව අදහස් පළ කර තියනවා. කිසි පදනමක් නැතිව වගකිව යුත්තන්ට චෝදනා එල්ල කිරීම වැරැදියි කියන තැනට ඔවුන් ඇවිල්ලා තියෙනවා. එක් පත්තරයක කර්තෘවරයෙක් මේ වෙබ් අඩවි හඳුන්වලා තිබුණේ විද්්‍යුත් කැලෑ පත්තර විදියට. මේව ඇත්තටම කැලෑ පත්තරම තමයි. මේ කැලෑ පත්තර කියන ඒව ජනමාධ්‍ය ද. නැහැ. ජනමාධ්‍යයට වගකීමක් සදාචාරයක් තියෙන්න ඕන.

පත්‍රිකාවක් ගැහුවත් ඒ පත්‍රිකාව මුද්‍රණය කරන අය, මුද්‍රණාලය සඳහන් කරන්න ඕන. ගමේ සිල්ලර කඩයක් වුණත් පටන්ගන්න නම් ඒක ලියාපදිංචි කරන්න තැනක් තියෙනවනේ. අයිතිකරු කවුද ලිපිනය මොකක්ද මොනවද විකුණන්නේ ඒකෙ සඳහන් කරන්න ඕනනේ. ප්‍රාදේශීය සභාවේ, නැතිනම් නගර සභාවේ මේ කොහේ හරි මේක ලියාපදිංචි කරන්න ඕනනේ. මේ රටේ තියන හැම ආයතනයක්ම එහෙමයි. මාධ්‍ය ආයතනත් එහෙමයි. පත්තර, රූපවාහිනී, ගුවන් විදුලි ඔය ඕනැ ආයතනයක් ලියාපදිංචි ඒව. ඒවයේ ඉන්න ජනමාධ්‍යවේදීන් කවුද කියලා අපි දන්නවා. ඔවුන් වැරැද්දක් කළොත් වගකීමක් තියෙනවා. වැරැදි දෙයක් පළ කළොත් ඒ අගතියට පත්වුණ අයට ඒ මාධ්‍ය ආයතනයට කතා කරල ඒක නිවැරැදි කරන්න කියල ඉල්ලන්න පුළුවන් ලංකාවේ ගුවන් විදුලි නාලිකා පනස් ගණනක් තියනවා. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා වාරසඟරා පත්තර එක්ක එකසිය පනස් හතක් තියෙනවා. ඒවට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ලියාපදිංචි කරලා අංකයක් දීල තියෙනවා. මේ පුවත් හෝ ආරංචි ඔක්කොම දෙන්නේ මේ රටේ මහජනයා වෙනුවෙන්නේ. එතකොට ඒ මහජනයාට අයිතියක් තියනවා. මේවා කවුද ලියන්නේ. මේ නිර්මාණය කරන්නේ කවුද කියලා දැනගන්න”

වෙබ් අඩවි ලියාපදිංචිය ගැන සුබවාදීව බලන ලෙසයි ඔබේ ඉල්ලීම.

මේක හොඳ හිතින් කළ දෙයක්.

“ඉතින් මේ වෙබ් අඩවි මේ රටේ ජනතාවටනේ ලියන්නේ. ඒ නිසයි අපි මේ අයවත් හඳුනාගන්න තීරණය කළේ. එහෙම කළාම ඒ අයගෙන් යම්කිසි අගතියක් යම් වාර්තාවකින් යම් කෙනකුට වුණොත් අපෙන් විමසුවොත් අපට කියන්න පුළුවනි. මේක අහවලාගේ වෙබ් අඩවිය. මේක ලිව්වේ අහවලා මේකෙ කාර්යාලය තියෙන්නේ අහවල් ස්ථානයේ, පිට රට නම් ලන්ඩනයේ නැතිනම් කැලිෆෝනියාවේ අහවල් ස්ථානයේ කියල අපි දැනගන්න ඕන. එහෙම නැතිව විහිළු කතා කියල වැඩක් නැහැ.” මඩ ගැසීමටයි අපි විරුද්ධ. වෙබ් සයිට්වල පළවන දේ රටට සමාජයට හිතකර දෙයක් වෙන්න ඕන. ජනමාධ්‍ය ආචාර ධර්ම රකිමින් ගෙන යන වෙබ් අඩවි වලට අපේ විරුද්ධත්වයක් නැහැ. අපේ විරුද්ධත්වය තියෙන්නේ අවිචාරවත් කලාවක යෙදෙන මඩ ගැසීමේ යෙදෙන අයට.

 

මේක මාධ්‍ය නිදහසට අදහස් ප්‍රකාශනයේ නිදහසට සීමා පැනවීමක් ලෙස ඇතැමුත් විග්‍රහ කරන්න හදනවා…?

“නැහැ. එහෙම අරමුණක් කොහෙත් ම නැහැ.

ඒව කියන්නේ ඔය නන්නත්තාර වූ සුළු පිරිසක්. මේ රටේ පත්තර, ගුවන් විදුලි, රූපවාහිනිවල කොයිතරම් විවේචන කෙරෙනවද. ඒ ගොල්ලො කියන දේවල් බලන්නකො. නිදහස් අදහස් ප්‍රකාශනයට මේ රටේ කිසි කෙනකුට බාධාවක් නැහැ. මං කිව්වේ මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් බහුතරය පිළිගන්නවා. මේ මඩ වෙබ් අඩවි කලාව වෙනස් වෙන්න ඕන කියලා.”

“අපි මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අයගෙනුත් ඉල්ලන්නේ සුබවාදී ප්‍රතිචාරයක් දක්වන්න කියලයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ගත්තහම ඒ අයටත් හොඳයිනේ. එතකොට ඒ අයට පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ වෙළෙඳ දැන්වීම් පවා ගන්න පුළුවන්නේ. මීට වැඩිය හොඳක් වෙනවනේ ඒ අයටත්.”

“මට වගේ ඔබටත් හැම පුද්ගලයාටමත් තියනව පෞද්ගලිකත්වය කියල අයිතියක්. ඒ අයිතිය රැකගන්න කාටත් අයිතිය තියනවා වගේ ම ඒ අයිතියට හානි කරන්න කාටවත් අයිතියක් නැහැ. දැන් මේ වෙබ් අඩවි කරන්නේ ඒ පෞද්ගලිකත්ව අයිතියත් නැති කරන එකනේ. දැන් බලන්න භාරත ලක්ෂ්මන් මහත්මයා ඝාතනයට ලක්වුණ වෙලාවේ එතුමාගේ දියණියගේ පෞද්ගලිකත්වයටත් ඇතැම් වෙබ් අඩවිවලින් හානි කරල තිබුණනේ. හිරුණිකා දියණිය ඒක ජනමාධ්‍යයටත් කියල තිබුණනේ. මේ වගේ දේවල් වෙන රටවල කරන්න බැහැ.

 

මේ වෙබ් අඩවි, ලියාපදිංචිය කවද්ද අවසන් වෙන්නේ.?

ලියාපදිංචි වෙන්න අවසන් දිනයක් නැහැ. මෙහෙ එන්න ඕන නැහැ. ඒක අන්තර්ජාලයෙන් ඔන් ලයින්ම කරන්න පුළුවන්. දැනටමත් ඉල්ලුම්පත් තිහකට වැඩි ගාණක් ලැබිල තියනවා. සීමා කිරීම් කරපු සමහර වෙබ් අඩවිත් ලියාපදිංචියට ඉල්ලුම්කරල තියනවා.”

“ජනමාධ්‍යයේ නාමයෙන් වෙබ් අඩවි යොදාගෙන කැලෑ පත්තර ගහන එක නැවැත්වීම ජනමාධ්‍යය නිදහසට හානි කිරීමක් කියන්නේ ඔළුව නරක් වෙච්ච මිනිස්සු විතරයි.

මේව යට ඉන්න නන්නත්තාර වෙලා ඉන්න දේශපාලනඥයන් හෝ එවැනි කීප දෙනෙකුගේ යම් අරමුණු ඉටු කරගෙන රටට හානි කරන්න දෙන්න බැහැ. මොළේ විකෘති කරගත් අයගේ වැඩවලින් රටත් ජනතාවත් විකෘති කරන්න හදන උත්සාහයට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ.

මේ වෙබ් අඩවි වලින් සමාජය කෙරෙහි ඇතැම් පුද්ගලයන් කෙරෙහි තියෙන ද්වේශය වමාරන්නේ.”

මෙවැනි සීමා පනවන්නේ මාධ්‍ය නිදහස නැති රටවල පමණක් බවට කරන, විවේචනය ගැන කුමක්ද කියන්නේ?

“මං ඊයේ පෙරේදා ඇහුව්වා තායිලන්තයේ වෙබ් අඩවි 48000 ක් තහනම් කෙරුවලු. ඇයි විකි ලික්ස් වෙබ් අඩවිය ඇමරිකාවත් තහනම් කෙරුවේ. “අපි කතා කරන්නේ ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ගැන විතරයි. අපි කියන්නේ මහජනයාගේ දැන ගැනීමට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය ආචාර ධර්ම තුළ විය යුතුයි කියලයි.”

මාධ්‍යවේදී ආචාර ධර්ම මාලාවක් අලුතෙන් ගේනවද?

“ආචාර ධර්ම කියන ඒව දැනටත් තියනවා. මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට ඒ ආචාර ධර්ම තියනවා. අපි ලිඛිතව ආචාර ධර්ම මාලාවක් දෙනවා. ඒව දැනටම තියන ඒවා.

“මේ ගොල්ලො ආචාර ධර්ම දන්නෙ නැති අය නෙමෙයි හොරට නිදාගෙන ඉන්න අය. ඒ අයට ආචාර ධර්ම පොත් ගහල දුන්නත් වැඩක් තියෙයි ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද මේ අය දැන දැන මේ සදාචාර විරෝධී ප්‍රචාරය කරගෙන යන්නේ. බලන්න ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති වුණ විනාශයේ එක සිරුරක් එක ලේ බිඳුවක් පෙන්නුවද නැහැ. ඒක තමයි මාධ්‍ය සදාචාරය. නමුත් අපේ රටවල සුනාමියෙන් අහිංසක ජනයා මැරුණ වෙලාවේ විරූප වී ගිය මළ සිරුරු පවා පෙන්නුවා. ඒක මැරුණ අහිංසකයන්ටත් කරපු අගෞරවයක්. ඒක තමයි අපට උපදෙස් දෙන්න අයගේ චර්යාව මේවට කියන්නේ වැදි බණ කියලා. ලෝකයේ හැම රටේ ම වගකීමක් තියනව ඕනෑම ජනමාධ්‍යයක් තමන් ගේ සීමා හඳුනාගෙන වැඩ කරන්න අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් සීමා රහිත නිදහසක් නෙවෙයිනේ. ඒ තුළයි කවුරුත් ක්‍රියා කරන්න ඕන. ලියන, කියන , පෙන්නන දේට වගකීම ලියන අය ගන්න ඕන.

 

සංවාද සටහන
සරත් පෙරේරා

Advertisements

කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!


කිසිවකුට අන්තර්ජාලයේ සැඟවී ඉන්න බෑ!
– මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස්‌

source:
කිසියම් පුද්ගලයකු පිළිබඳ අසත්‍ය තොරතුරු සහිත නිර්නාමික පත්‍රිකාව හැඳින්වෙන්නේ කැලෑ පත්තරය නමිනි. අතීතයේදී බොහෝවිට ග්‍රාමීය ප්‍රදේශවලට සීමාවූ කැලෑ පත්තරය තාක්‍ෂණයේ දියුණුවත් සමඟ පරිගණකය තුළින් ලොව පුරා ප්‍රචලිත විය. ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලොව සෑම රටකටම විද්යුත් කැලෑ පත්තරය නැතහොත් මේ අපහාසාත්මක වෙබ් අඩවි විශාල ප්‍රශ්නයකි.

මේ මඩ වෙබ් අඩවි නතර කළ නොහැකිද මේවායේ හිමිකරුවන්ට දඬුවම් කළ නොහැකිදරෑ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගිහාන් ඩයස්‌ ඒ පිළිබඳ කරන විග්‍රහයකි මේ.

රජය සහ පුද්ගලයන් පිළිබඳ අසත්‍ය තොරතුරු පළකරන සහ අසභ්‍ය දර්ශන විකාශය කරන වෙබ් අඩවි කිහිපයක්‌ තහනම් කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. වෙබ් අඩවි පළකරන්නන්ට තිබෙන මේ අසීමිත නිදහස කුමක්‌දරෑ

කිසියම් කෙනෙක්‌ චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කළොත් එය තිරගත කිරීමට රජයෙන් අවසරයක්‌ ලබාගන්න ඕන. නමුත් පොතක්‌ හෝ පත්‍රිකාවක්‌ පළකරන්න එබඳු අවසරයක්‌ වුවමනා නැහැ. ප්‍රවෘත්ති පත්‍රයක්‌ පළ කිරීමට අවශ්‍ය වන්නේ ඔය අවශ්‍යතා දෙකට අතරමැදි තත්ත්වයක්‌. නමුත් වෙබ් අඩවියක්‌ පළකිරීමට අවශ්‍ය වන්නේ කෙබඳු අවසරයක්‌ද යන්න තවම තීරණය වෙලා නෑ. මේ නිසා වෙබ් අඩවියක්‌ ඕනෑම කෙනෙකුට පළකරන්න පුළුවන්. එසේම ඕනෑම අදහසක්‌ මතයක්‌ වෙබ් අඩවි හරහා පළ කරන්නත් පුළුවන්.

පුවත්පතකින් හෝ පොතකින් යම් පුද්ගලයකුට අපහාසයක්‌ කළොත් ඒ පිළිබඳ ගතහැකි පියවර තිබෙනවා. වෙබ් අඩවියකින් එබඳු අපහාසයක්‌ සිදු කළොත් එයට එරෙහිව ගතහැකි පියවර කුමක්‌ද?

එම වෙබ් අඩවියේ හිමිකරුවන් සොයා ගත හැකිනම් ඒ පිළිබඳ ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. නමුත් බොහෝ විට මෙබඳු අපහාස කරන වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීම අපහසුයි. නමුත් රටක පුරවැසියන් ආරක්‍ෂා කිරීම හා ඔවුන්ගේ නිදහස සුරැකීම රජයේ වගකීමක්‌. කිසියම් පුද්ගලයෙක්‌ තවත් පුද්ගලයකුට හිංසාවක්‌ කළොත් එම පද්ගලයාට එරෙහිව රජය ක්‍රියා කරන්නේ ඒ නිසයි. ඒ අනුව යම් පුද්ගලයෙක්‌ වෙබ් අඩවියක්‌ හරහා තවත් පුද්ගලයකුට හිංසාවක්‌ පීඩාවක්‌ කරනවා නම් එය වැළැක්‌වීමේ වගකීමක්‌ රජයට තිබෙනවා. එම නිසා යම් පුද්ගලයකුට වෙබ් අඩවියකින් අපහාසයක්‌ හෝ පාඩුවක්‌ සිදුවෙනවා නම් ඔහුට ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළ හැකියි. එම වෙබ් අඩවියේ හිමිකරු සොයා ගත හැකිනම් ඔහුට එරෙහිව නඩු පැවරීමට පොලිසියට හැකියාව තිබෙනවා. නමුත් මා නීතිඥයකු නොවන නිසා අපහාස කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි නීතිමය පියවර පිළිබඳ කිසිවක්‌ කිව නොහැකියි.

නමුත් පුද්ගලයන්ට සහ රජයට අපහාස කරන මේ වෙබ් අඩවි බොහෝවිට ක්‍රියාත්මක වෙන්නෙ අපේ රට තුළ නොවෙයි. එබඳු වෙබ් අඩවි වල හිමිකරුවන් සොයා ගැනීමට සහ එම වෙබ් අඩවි මෙරට තුළ විකාශය නතර කිරීමට තාක්‍ෂණික ක්‍රමවේදයන් නැද්ද?

කවර නමකින් කවර රටක සිට ක්‍රියාත්මක වුවත් එම වෙබ් අඩවිවල හිමිකරුවන් සොයා ගැනීමටත් මෙරට තුළ ඒවායේ ක්‍රියාකාරිත්වයන් නතර කිරීමටත් ක්‍රමවේද තිබෙනවා. විදෙස්‌ වෙබ් අඩවි හිමිකරුවන් සොයා ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහය අවශ්‍යයි. නමුත් වෙබ් අඩවි හරහා සිදුකරන බරපතළ නොවන ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර පොලිසිය එතරම් තැකීමක්‌ කරන්නේ නැහැ. කිසියම් වෙබ් අඩවියකින් සිදුවූ අකටයුත්තක්‌ පිළිබඳ යමෙකු ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළද ඔවුන් ක්‍රියාත්මක වන්නේ අදාළ පුද්ගලයාට ඉන් විශාල අලාභයක්‌ සිදුවී ඇත්නම් පමණයි. සාමාන්‍යයෙන් වෙබ් අඩවි හරහා සිදුවන ඩොලර් ලක්‍ෂයකට වඩා අඩු අලාභ වෙනුවෙන් ඔවුන් ක්‍රියාත්මක වන්නේ නෑ.

කෙසේ වෙතත් විදේශයක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක්‌ අන්තර්ජාලය ඔස්‌සේ අපේ රටට ඒම වැළැක්‌වීමට තාක්‍ෂණික පහසුකම් තිබෙනවා. මෙරටට අන්තර්ජාල පහසුකම් සලසන්නන් හරහා එය කළ හැකියි. නමුත් යම් වෙබ් අඩවියක තිබෙන කිසියම් පිටුවක්‌ හෝ පිටු කිහිපයක්‌ පමණක්‌ අවහිර කිරීම තරමක්‌ දුෂ්කරයි. එම නිසා ඇතැම්විට කිහිප දෙනෙකුට පමණක්‌ ප්‍රශ්නකාරී පිටුවක්‌ දෙකක්‌ නිසා සම්පූර්ණ වෙබ් අඩවියම පළවීම වැළැක්‌වීමෙන් තවත් බොහෝ දෙනෙකුට තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වීමේ ප්‍රශ්නයකුත් තිබෙනවා.

අන්තර්ජාලයේ පළවන වෙබ්අඩවියක්‌ අපේ රට තුළ විකාශය වීම නතර කිරීම සඳහා නියෝග කිරීමේ බලය තිබෙන්නේ කාටද?

ඒ නියෝගය නිකුත් කළ හැක්‌කේ දුරකථන නියාමන කොමිසමටයි.

වෙබ් අඩවි අවහිර කිරීමේ තාක්‍ෂණික ක්‍රියාදාමය සාර්ථක එකක්‌ නොවෙයිද?

යම් වෙබ් අඩවියක්‌ අවහිර කළ පසු එහි තිබූ තොරතුරු වෙනත් වෙබ් අඩවියක්‌ හරහා විකාශය කරන්න පුළුවන්. එය තාක්‍ෂණයේ ස්‌වභාවයයි. වෙබ් අඩවියක්‌ අවහිර කළ පමණින් යම් තොරතුරක්‌ පළවීම සම්පූර්ණයෙන් වැළකෙන්නේ නැහැ. අවශ්‍ය නම් එම තොරතුරු සංයුක්‌ත තැටියක ගබඩා කොට බෙදා හරින්න පුළුවන් ඡායාපිටපත් කර බෙදා හරින්න පුළුවන්. වෙබ් අඩවියක්‌ අවහිර කිරීමෙන් එහි අඩංගු තොරතුරු විකාශය වීම මුළුමනින්ම වළක්‌වන්න බැහැ. වෙබ් අඩවියක්‌ අවහිර කිරීමට වගේම එම අවහිර කිරීම් වළක්‌වන්නටත් තාක්‍ෂණයට පුළුවන්. ඒ වගේම තාක්‍ෂණය භාවිත කරලා අපරාධ කරන අය අහුවෙන්නෙත් ඒ තාක්‍ෂණයෙන්මයි.

මේ වෙබ් අඩවිවලට අයිතිකාරයෝ නැහැ කියල ප්‍රකාශ වුණාට සොයාගෙන යන විට මේවට අයිතිකාරයෝ ඉන්නව. ඔවුන් සැඟවිල ඉන්නෙ. වෙබ් අඩවි හරහා පුද්ගල චරිත ඝාතන සිදුකිරීම හැම රටකම වගේ තියෙන ප්‍රශ්නයක්‌. ඕනෑම රටක ඒ රට තුළ ක්‍රියාත්මකවන වෙබ් අඩවි ගැන පියවර ගැනීම පහසුයි. වෙනත් රටක ක්‍රියාත්මක වන වෙබ් අඩවියක්‌ ගැන තවත් රටක සිට කටයුතු කිරීම තරමක්‌ අසීරු වී තිබෙන්නෙ ජාත්‍යන්තර පොලිසිය විශාල සිදුවීමක්‌ පිළිබඳ මිස සුළු අපහාස කිරීම් ගැන එතරම් සැලකීමක්‌ නොදක්‌වන නිසයි. පසුගිය දිනක අන්තර්ජාලය හරහා විශාල පාඩුවක්‌ සිදුකළ වෙබ් අඩවියක්‌ ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක්‌ ක්‍රියාත්මක වෙලා අල්ලා ගත්තා. නමුත් එක්‌කෙනෙකුගෙ මූණකට තව කෙනෙකුගෙ ඇඟක්‌ සම්බන්ධ කරල ලොව පුරා පළ කළාට ඒකෙ අලාභය මුදලින් තක්‌සේරු කරන්න අමාරුයි. ඒ නිසා ඒක එතරම් සැලකිය යුතු දෙයක්‌ හැටියට නෙමෙයි ජාත්‍යන්තර පොලිසිය සලකන්නෙ. අවශ්‍යතාවක්‌ තියෙනව නම් අන්තර්ජාලය තුළ සැඟවී සිටින ඕනම කෙනෙක්‌ අල්ල ගන්න පුළුවන්.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක
ඡායාරූප – සමන් රණවීර

මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කීර්තිනාමය රැක ගැනීමටයි

මඩ වෙබ් අඩවිවලට වැට බැන්දේ ජනමාධ්‍යයේ කීර්තිනාමය රැක ගැනීමටයි

– ඇමැති කෙහෙළිය

ඉන්දික පොල්කොටුව source:

රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙයින් මාධ්‍ය නිදහස් සුරක්ෂිත වන බවත් එමෙන් ම මාධ්‍ය ලේබලය ඔස්සේ ජනමාධ්‍යයේ කීර්ති නාමයට සිදුවන හානිය වැළකී යන බවත් ඒ මහතා කීය.

රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල චරිත ඝාතන පසුගිය වකවානුවේදී මෙම වෙබ් අඩවි හරහා සිදු වූයේ යැයි ද රඹුක්වැල්ල මහතා පැවසී ය.

මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන් ඇතුළු රටේ සිවිල් ජනතාව විශාල වශයෙන් ඉල්ලීම් කළ බවත් ඇතැම් අවස්ථාවන්හි ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවා එම දෙමාපියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිව තිබූ බවත් ඇමතිවරයා කීය.

තායිලන්තය චීනය ඇතුළු රටවල් මේ වනවිට එම රටවලට හානි කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කැර ඇතැයි ද රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග වලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස ලෙස හැඳින්වීම වරදක් නැතැයි ද ඒ මහතා පැවසීය.

පුවත්පතක රූපවාහිනියක ගුවන් විදුලියක යම් අසත්‍ය ප්‍රවෘත්තියක් පළවූ විට එය නිවැරැදි කිරීමට ක්‍රියාමාර්ග ඇති නමුත් වෙබ් අඩවිවල එවැනි ක්‍රමවේදයක් නොමැති වීමෙන් එම වෙබ් අඩවිවලට රටට ජනතාවට ඕනෑම හානියක් කිරීමට හැකියාව ඇතැයි ද ඒ මහතා කීය.

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!