//

Buddhism

This category contains 49 posts

බුද්ධරත්නය උතුම්ම රත්නයයි

 

 

 

“යං කිඤ්චි චිත්තං ඉධ වා හුරං වා
සගෙගසු වා යං රතනං පණීතං
නො සමං අත්ථි තථාගතෙන
ඉධම්පි බුදෙධ රතනං පණීතං
එතෙන සචෙචන සුවත්ථි හොතු”
(රතන සූත්‍රය)

 source:

මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගයක් වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සමාන නොවේමය. බුද්ධරත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්වයන් සුවපත් වේවා!

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද තථාගතයන් වහන්සේම ‘සේල’ නම් බමුණාට වදාළ අයුරින් දතයුතු සියල්ලම (තථාගතයන් වහන්සේ විසින්) වෙසෙසින් දක්නා ලදිමි. වැඩිය යුතු සියල්ල වඩනා ලදී. හල යුතු සියල්ල හලෙමි. එහෙයින් මම බුද්ධ නම් වෙමි.

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගාධී ආර්ය සත්‍ය, ස්කන්ධ ආයතන, ධාතු, බෝධිපාක්‍ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය අංග ආදී ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද සත්ව ලෝකය පිළිබඳ වූ උත්පාද, ඨිති, භංගා දී විග්‍රහයන් හේතුඵලවාදී විචාරක්‍ෂියෙන් දත් හෙයින් ද සම්මා සම්බුද්ධ නම් වන සේකැ’යි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.

බුද්ධරත්නය යනුවෙන් සලකන විට අතීත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වැඩ සිටියාහුද අපගේ ස්වාමී වූ ගෞතම නම් බුදුන්වහන්සේ ද අනාගත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වෙත්ද කාලත්‍රයවර්තී සියලු දෙනා වහන්සේම ඊට ඇතුළත් වෙති. එම සියලු බුදුවරයන් වහන්සේම බුද්ධරත්නය සතු අනර්ඝ වූ ලක්‍ෂණ සමුදායෙන් සෝභමානය.

සම්මා සම්බුද්ධත්වය යනු කවරේදැයි තථාගතයන් වහන්සේ සතු මහා ප්‍රඥාවෙන් අවබෝධ කටයුතුයි. ත්‍රිපිටකාගත සූත්‍රයන්හි අසදෘෂ්‍ය වූ සම්බුද්ධඤාණය විවිධාකාර ප්‍රභේදයන්ගෙන් විවරණය වී ඇත. සම්මා සම්බුද්ධත්වයෙහි අසිරිය කාරකාරාම සූත්‍රයෙන් ‘සබ්බඤ්ඤු භූමි, ඛීණාසව භූමි, පච්ච භූමි, සඤ්ඤාත භුමි තාදී භූමි යනුවෙන් ප්‍රධාන කොටස් පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ. එය ගැඹුරින් අධ්‍යයනය කිරීම සම්මා සම්බුද්ධත්වයෙහි විශිෂ්ටත්වය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වේ.

සම්බුද්ධත්වය අති ගාම්භීර ඥාන සම්පත්තියකින් සමූපලක්‍ෂිතය. සම්බුද්ධත්වය කරා පියවරින්, පියවර ආධ්‍යාත්ම සංවර්ධන කාර්යෙහිලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රොත්සාලි වූ අයුරු වටහා ගැනීම මෙහිලා ඉතා වැදගත් වන්නේ ය. බෝමැඩ කරා වැඩම කොට අපරාජිතපර්ය්‍යංකයෙන් වැඩ හිඳ මාර පරාජයෙන් අනතුරුව අනාපානාසති භාවනාභ්‍යාසයෙන් චතුර්ථ ධ්‍යානයට එළඹ සිත ඉන් ඉවත්කොට අනේක සංඛ්‍යාත අතීත ආත්ම භාවයන් තත්වාකාරයෙන් දකිමින් පුබ්බේනිවාසානුස්සති ඤාණ ප්‍රතිලාභ කොට ගත්හ.

අතීත විවිධ ආත්මයන්හි උපන් තැන්, ලැබූ නම් ගොත්, විඳින ලද සුවදුක් පැහැදිලි ලෙස දකිමින් අතීතය වසාලන මෝහන්ධකාරය දුරු කිරීමට සමත් වූහ. අනතුරුව සත්වයින්ගේ උත්පත්තිය, පැවැත්ම හා මරණයද සුගති හා දුගති සංඛ්‍යාත භවය, කුසලාකුසල කර්ම විභාගාදියද දකිමින් ‘දිබ්බචක්‍ඛු ඤාණ සහ චුතුපපාත ඤාණ’ උපදවා ගත්හ. ඉන් අනතුරුව කෙලෙසුන් සිඳලීමේ සසර බැමි ලිහා දැමීමේ මඟ කෙරෙහි සිත් යොමු කළෝ සතර මඟ, සතර ඵල පිළිවෙළින් සර්වඥ ඤාණ සම්පත්ති ප්‍රතිලාභී වූහ. එය වනාහි යථාභූත ඤාණ දස්සන අවබෝධයයි. ඒ වනාහි,

චක්‍ඛුං උදපාදි, ඤාණා උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් හැඳින්වෙන එම ඤාණ සම්පත්තිය සාධාරණ ඤාණ අටකින්ද, අසාධාරණ ඤාණ හයකින්ද ප්‍රභේදගත වේ.

බුද්ධත්වය හා බැඳී පවත්නා මෙම ඥාන විභාගයෙහි හරවත් බව අවබෝධ කරගත හැක්කේ ඉතා සියුම්ව හා විචාරාක්‍ෂියෙන් යුතුව විමසා බැලීමෙනි. න්‍යාය, වෛශේෂිත, සංඛ්‍ය, වේදාන්ත, යෝග, පූර්ව විමංසා, උත්තර විමංසා, ෂඩ් දර්ශන, උපනිෂද් ආදී ඉගැන්වීම් මගින් ඉදිරිපත් කෙරෙන ඉන්දීය දර්ශන සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තුලනාත්මකව විමසා බැලීමෙනි. භාරතීය දර්ශනය මඟින් ඉදිරිපත් කළ අධ්‍යාත්ම සංවර්ධන ක්‍රියාවලිය හා විග්‍රහය අවබෝධ කොටගත හැක්කේ විචාරශීලී පරිපූර්ණ මනසක් ඇති ප්‍රතිපත්ති ගරුක, සද්පුරුෂ සාධූන්ට පමණි. බුද්ධිගෝචර බවින් සැබැවින්ම ඈත් වූ දේව නිර්මාණවාදී යදමින් බැඳුනු ආගමික නායකයින්ට එය කෙසේවත් කළ නොහැකිය.

සර්වඥතා ඤාණය පාදක වී පවත්නා දාර්ශනික පදනම හේතුඵලවාදය නම් වේ. එය අචින්ත්‍ය වූ ජගත් මණ්ඩලය සංස්ලේෂණ හා විශ්ලේෂණ වශයෙන් විමර්ශනයට භාජන කළ හැකි වූද, යථාර්ථාවබෝධයට මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නා වූද පරම සත්‍ය වූ දාර්ශනික පදනම ලෙස හඳුන්වා දිය හැකි ය.

බුද්ධරත්නය අසම සම ගුණ සමුදායෙන්ද උපසොහිතය. ඒ බුදුගුණ සිත් සතන් හි රඳවා ගෙන නැවත නැවතත් සිහි කිරීම ‘බුද්ධානුස්මෘති’ නම් වේ. ‘අනුස්සති’ යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි. බුදුරුවන ‍ෙකරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද මාර්ග ඵලාවතීර්ණ වූවෝද පෘථග්ජන එහෙත් නුවණැතියෝද තම තමන්ගේ නැණ පමණින් බුදුගුණ හඳුනා ගනිති. අනතුරුව නැවත නැවත මෙනෙහි කරති. එහෙයින්ම බුද්ධ, ධම්ම, සංඝ සංඛ්‍යාත රත්නත්‍රය සරණ යති.

මෙම උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින බුද්ධානුස්සතියේ යෙදී ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව ලොවී ලොව්තුරා සැපත් ප්‍රාර්ථනා කටයුතුයි.

 

සැමට තෙරුවන් සරණයි!

වෙසක් පුර පසළොස්වක පොහොය

 

 source:

ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. එයට එක් හේතුවක් වූයේ බුද්ධත්වයට පත් වූ උතුමාණන් වෙසක් පුන් පොහෝ දිනක උපත ලැබීම යි. කිඹුල්වත් නුවර එවකට පාලනය කළ සුද්ධෝදන රජතුමාගේ දේවිය වූ මහාමායා අගබිසවගේ කුසෙහි බෝසතුන් පිරිසිඳ ගැනීමෙන් දස මසක් සම්පූර්ණ වීමත් සමග එතුමියට තම මවුපියන් විසූ දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ අනුව සැරසූ මගින් අමාත්‍යවරුන් ප්‍රධාන සපිරිවරින් ගමන ඇරඹුනි. මල් බරින් සපිරුණු ලුම්බිණි නම් සාල වනෝද්‍යානය හමු වූයෙන් එහි සල් අත්තක් අල්ලාගෙන සිටිය දී මහාමායා දේවියගේ කුසින් ධර්මාසනයකින් බස්නා මහා ධර්ම කථිකයාණන් කෙනෙකු මෙන් බෝසතාණෝ බිහි වූහ.

මහත් වූ ආශ්චර්යය ජනක සිදුවීම් මුළු ලොවෙහිම සිදු වෙත් දී බිමට පා තැබූ බෝසතාණෝ පොළොවෙන් පැන නැගුණ පියුම් හතක් මත සත් පියවරක් ගමන් කරමින් “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත” යනුවෙන් සිංහ නාද කළහ.

අප මහබෝසතාණෝ උපතත් සමග කතා කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මහෞෂධ අත්බැව් හි දී සක් දෙවිඳුන් විසින් දුන් සඳුන් ගැටය අත තබාගෙන බිහි විය. සුමනා නම් මව “දරුව අතේ කුමක් ගෙන ආයේ ද?” යි ඇසූ කල්හි “බෙහෙතක් ගෙන ආයෙමි” යි දුන් පිළිතුර උපතත් සමග බෝසතුන් කළ පළමු ප්‍රකාශය යි. වෙස්සන්තර ආත්ම භාවයේ දී මවුකුසින් බිහිවෙමින් දකුණත දිගු කොට “මෑණියනි, දන් දීමට ගෙයි කිසිවක් ඇත්දැයි” කළ විමසීම දෙවන අවස්ථාව යි. බුදුවන ආත්මයේ දී ඉහත කී අන්දමට “අග්ගො හමස්මි….” ආදී වශයෙන් කළ ප්‍රකාශය තුන්වන අවස්ථාව යි.

අනාගතයේ බුද්ධත්වයට පත්ව මුළු ලොවටම අර්ථ සිද්ධිය සලසන බව උගත් බමුණන්ගෙන් දැනගත් සුද්ධෝදන රජතුමා බෝසත් පුතණුවන්ට ‘සිද්ධාර්ථ’ යනුවෙන් නම් තැබීය. මැනවින් හැදුනු වැඩුනු සිද්ධාර්ථ බෝසතුන් ශිල්ප ශාස්ත්‍ර උසස් සේ හදාරා සොළොස්වන වියේ දී යසෝධරා නම් රජ කුමරිය සරණපාවා ගත්තේය. විසි නව වන වියේ දී සතර පෙර නිමිති දැක රාහුල නම් පුතණුවන් උපන් ඇසළ පෝදා මධ්‍යම රාත්‍රියේ දී නිවන් අවබෝධ කර ගැනීමේ අදිටනින් මහභිනික්මණෙහි යෙදුනි. සය අවුරුද්දක් මුලුල්ලෙහි යෙදුනු දැඩි දුෂ්කර ක්‍රියා මෙගහි නිෂ්ප්‍රයෝජනත්වය වටහා ගත් සිද්ධාර්ථ තවුසාණන් ඒ මග අත්හැර මධ්‍යම ප්‍රතිපදාව තුළින් තම අරමුණ සාර්ථක කර ගත යුතු යැ යි තීරණයට එළඹුණි.

වෙසක් පුන් පෝදාක අලුයම අජපල් නම් නුගරුක මුල දී සුජාතා සිටුදුව පිළිගැන්වූ කිරිපිඬු වළඳා සවස් භාගයෙහි සොත්ථිය බමුණා විසින් දෙන ලද කුස තණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පාමුල අතුරා නැ‍ෙගනහිරට වැඩ සිට බුදුබව ලැබීමේ ප්‍රතිපදාවට සිත් යොමු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුහත් බෝසතාණෝ වෙසක් පුන් පෝදා රාත්‍රි පශ්චිම යාමයෙහි දී සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වූහ.

බුද්ධත්වයට පත්වීම හදිසියේ වූ සාමාන්‍ය සිදුවීමක් නොවේ. ඒ සඳහා උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පිරූහ. සුමේධ තාපසව උපන් අවධියේ දී අපරිමිත රහතුන් පිරිවරාගෙන වැඩම වූ දීපංකර බුදුරදුන්ගේ පාද මූලයෙහි මහ මඩෙහි ඒදණ්ඩක් මෙන් වැතිර සිටි අවස්ථාවෙහි අනාගතයෙහි ‘ගෞතම’ නමින් බුදු වන බවට නියත විවරණ ලැබීමත් සමග බෝසතාණන්ගේ කරුණා හා ප්‍රඥා ගුණය වඩාත් වර්ධනය වන්නට විය. බුද්ධ කාරක ධර්මයන් වූ දස පාරමී ධර්මයන් නොඅඩුව සම්පූර්ණ කිරීමට උපන් සෑම ආත්මයක් පාසාම ආශ්චර්යය ලෙස ක්‍රියාත්මක විය. මහ සයුරේ ජලයට වඩා අනුන්ගේ යහපත සඳහා ලේ දන් දෙමින් ද, මහ පොළොවේ පස්වලට වඩා අනුන්ගේ යහපත සඳහා ශරීර මාංස පරිත්‍යාග කරමින් ද, අහසේ තාරකාවන්ට වඩා තම ඇස් පරිත්‍යාග කරමින් ද ප්‍රකට කළ අසම වූ ගුණයන් නිසා උතුම් වූ සම්බුද්ධත්වය ලබා ගැනීමට හැකිවිය.

එදා වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත්වීමත් සමග තම සිත්හි පහළ වූ අසීමිත පී‍්‍රතිය ප්‍රකට කෙරෙමින් “අනෙක ජාති සංසාරං…” යන උදාන ගාථාව ප්‍රකාශ කළ බව අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ. සම්බුදු රදුන්ගේ මුවින් නිකුත් වූ ඒ ප්‍රථම බුද්ධ වචනය යි ධම්මපද අටුවාව ඇතුළු ස්ථාන කිහිපයක සඳහන් වේ. එහෙත් අභිධර්ම අටුවාව සහ තවත් ස්ථාන කිහිපයකම ප්‍රථම බුද්ධ වචනය වශයෙන් පළමුවන සතිය ගතකරද්දී දේශිත “යදා හවේ පාතු භවන්ති ධම්මා…” ආදි ගාථාව සඳහන් වෙයි. මෙය එකිනෙකට විරුද්ධ මත දෙකක් වශයෙන් පෙනුනත් එසේ නොවේ. “අනෙක ජාති සංසාරං…” යන ගාථාව බුද්ධත්වයට පත්වීමත් සමග මුලින්ම උන්වහන්සේගේ සිතේ පහළ වූ අදහසකි’ “යදා හවේ පාතු භවන්ති ධම්මා…” ආදී ගාථාව වාග් භේදයෙන් කළ ප්‍රථම දේශනාව වශයෙන් ගත්විට කිසිදු ගැටලුවක් නොවේ.

ලෝ සතුන් වෙත අපරිමිත කරුණාවකින් යුතුව දවසේ දෙපැයක් පමණ හැර මුළු කාලයම කැප කරමින් සම්බුදු රදුන් සිදුකළ මහඟු සේවය මෙපමණ යැයි දැක්වීම අපහසු ය. කෝටි සංඛ්‍යාත සත්ත්වයන් සසර සයුරෙන් එතෙර කිරීමටත්, උසස් ගුණ දහමින් සම්පූර්ණව අගනා ජීවිත ගත කිරීමට මග සැලසීම උදෙසා උන්වහන්සේගේ තම කාලය කැප කළහ. සම්බුදු රදුන් බුද්ධත්වයෙන් පන්සාළිස්වස බේලුව ගමෙහි ගතකොට අනතුරුව චාපාල චේතියස්ථානය වෙත සංඝරත්නයත් සමග වැඩම කළහ. එහිදී අනඳ තෙරුන් ඇමතු බුදුහු සතර ඍද්ධිපාද ධර්මයන් යහපත් කොට වඩවන්නහුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් වැඩ සිටිය හැකිය යි වදාළහ. මාරයා විසින් සිත සසල කිරීම නිසා කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ආරාධනා කිරීමට උන්වහන්සේට නොහැකි විය. අනඳ හිමියන් මද වේලාවකින් බුදුරදුන්ගෙන් අවසර ගෙන ඉවත්ව යාමත් සමඟ එහි පැමිණි මාරයා දැන් සියලු බුද්ධ කෘත්‍යයන් නිමකොට ඇති හෙයින් පිරිනිවන්පාන්න යි අයැද සිටියේ ය. එම ආරාධනය පිළිගත් බුදුහු මෙයින් තෙමසක් ඇවෑමෙන් පිරිනිවන්පාන බවට ප්‍රතිඥා දුන්හ. මෙසේ ආයුසංස්කාරය කිරීමත් සමග මුළු ලෝක ධාතුවම මහත් සේ සැලෙන්නට වූ බව ධර්ම ග්‍රන්ථ පෙන්වා දෙයි.

අසූ වසරක් වැඩ සිටිමින් දුකට පත් සත්ත්වයන් සුවපත් කරමින් ද අමාමහ නිවන් සුවය ලබා දෙමින් ද කටයුතු කළ සම්බුදු පියාණෝ ගම් නියම්ගම් පසු කරමින් කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ උයනෙහි සාල වෘක්ෂයන් අතරෙහි උතුරට හිස දා අනඳ හිමියන් පැන වූ අස්නෙහි වැඩ සිටියහ. අවසානයෙහි භික්ෂූන් අමතා “අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් අන්තිම බුදු වදනින් අවවාද දී අපමණ දෙවි – බඹුන්ගේ වන්දන මානයට ලක්ව මෙයට පෙර දෙදහස් පන්සිය පනස් අටවැන්නේ වෙසක් පුන් පෝදා පිරිනිවන් පා වදාළහ. ‘බුදු තෙමගුල’ යනුවෙන් අප නිතර ව්‍යවහාර කරන අදහසට අනුව සම්බුදු රදුන්ගේ පිරිනිවන්පෑම මංගල්‍යයක්සේ සුබ වශයෙන් ගැනීම සුදුසු දැයි සමහරු විමසති. එය උතුම් මංගල්‍යයක් වන්නේ අනාදිමත් කාලයක සිට ඉපදීමත් සමගම ජරා – ව්‍යාධි ආදී අපමණ දුක්වලින් පෙළීම සම්පූර්ණයෙන් නැති කොට සදාකාලික සැපත වූ නිවන්සුව සලසා ගත් හෙයිනි.

සම්බුදු රදුන් පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර වැදගත් සිදුවීමක් විය. එනම් වංශ කතා සාහිත්‍යය සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා රාජාවලියෙහි ආරම්භක පාලකයා වූ විජය කුමාරයා සත් සියයක් පිරිස සමග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ තම්මැන්නාව ප්‍රදේශයට ගොඩබැසීමයි. අවසාන වරට දිවැස් යොමා ලොව බැලූ බුදුහු පැමිණි ඒ පිරිස දැක ඔවුනට ආරක්ෂාව සලසන මෙන් සක් දෙවිඳුන්ට නියම කළහ. ඒ අනුව තවුස් වෙසින් පැමිණි උපුල්වන් දෙවියන් මෙරට ජීවත් වූ තරමක් දරුණු වූ, යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් විය හැකි විපත් වළකාලීම පිණිස විජය කුමාරයා ඇතුළු පිරිසට පිරිත් පැන් දී පිරිත් නූල් ගැට ගසා ආරක්ෂාව ලබාදෙන ලද්දේ සක් දෙවිඳුන්ගේ නියමය පරිදි බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි.

සිරිලක රාජ නාමාවලියෙහි ආර්ය වංශික ප්‍රථම පාලකයා වශයෙන් දැක්වෙන්නේ මේ විජය රාජ කුමාරයා ය. මේ සමගම ඇති වැදගත් සිදුවීම අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. එනම් අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට ශ්‍රී ලාංකිකයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි.

සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනයෙන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන සම්බුදු රදුන් රජගහ නුවර සිට කිඹුල්වත් පුරයට වැඩම වූයේ වෙසක් පොහොය දිනක ය. එසේම බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව හතළිස් වසරක් වැඩසිටි ආනන්ද මහ රහතන් වහන්සේ එකසිය විසිවන වියේ දී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පොහෝ දිනක ය. ලංකා ඉතිහාසය පිළිබඳ විමසන විට අශෝක රජතුමාගේ ඉල්ලීම පරිදි සිරිලක පාලනය කළ දෙවන පෑතිස් රජතුමා දෙවන වරට ආර්ය අභිෂේකය පැවැත්වීම, දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීම, අභාවයට පත් වූ ලාංකික උපසම්පදාව නැවත වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගේ මූලිකත්වයෙන් ‘ස්‍යාම වංශික උපසම්පදාව’ නමින් ආරම්භ කිරීම වැනි සුවිශේෂි සිදුවීම් රාශියක් ම වෙසක් පුන් පෝ දිනයක සිදුවීම ඓතිහාසික අතින් වැදගත් වෙයි.

බුදු සමයෙන් හෙළිවන ජීවන දර්ශනය

බුදු සමයෙන් හෙළිවන ජීවන දර්ශනය

මානුෂික ස්‌වරූපය ස්‌වභාවය කෙබඳු ගණයට ගැනෙන්නක්‌ද යන්න අධ්‍යයනය කිරීමෙන් අවබෝධකොට ගත හැකිය. ජීවිතයේ යථාවාදී තථාකාරී ස්‌වරූපය සෙසු ආගම්වලට වඩා පැහැදිලි කරන්නේ බුදු සමයයි. ජීවිතය යනු කුමක්‌ ද යන්න තේරුම් නොගෙන කටයුතු කිරීම නිසයි මිනිසා වරදට පෙළඹෙන්නේ. වරදින් බැහැර වීමට අප තේරුම් ගත යුතුය.

බුදු සමය මතුපිටින් නොව එය ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. මිනිසා මිනිසත් බව ලබන්නේ ඉතාම අමාරුවෙනි. මෙය හරියට කණ කැස්‌බෑවා විය සිදුරෙන් අභස බලන්නා සේ ඉතාම දුෂ්කර කාරියකි. විය සිදුර යනු ඉතාම කුඩා ඇසට නොපෙනෙන තරමේ සිදුරකි. කණ කැස්‌බෑවාට අහස බලන්නට දැඩි ආසාවක්‌ කැමැත්තක්‌ තිබුණ ද එම ආසාව එලෙසම සිතු පරිදි ඉටුකර ගැනීමට නුපුළුවන. එය අහම්බෙන් මෙන් සිදුවන්නකි. මිනිස්‌ දිවියක්‌ ලබන්නේ එපරිද්දෙනි. භවය යනු චක්‍රයකි. එහි අවසානයක්‌, ආරම්භයක්‌, දක්‌නට නොලැබේ. භව චක්‍රයේ මිනිසා නිවන් සාක්‌ෂාත් කරනතාක්‌ භවයේ සැරි සරයි. එහි අවසානය වන්නේ නිවන් දැකීමයි. මෙයයි අප ලැබිය යුත්තේත්, ඉතාම අමාරුවෙන් ලබාගන්නා මනුෂ්‍යාත්මයේදී මේ භව ගමන අවසන් කිරීමට අප අපේක්‍ෂා කර ගත යුතුය.

දුරු කළ යුතු තෘෂ්ණාව

මේ භවයට මූලික හේතුව වන්නේ තෘෂ්ණාවයි. දැඩි ආශාව භවය දිගු කරන්නට හේතු භූත වේ. සමාජයේ බොහෝ දෙනා ආශාවෙන් භරිතය. ගිහි පැවිදි දෙපක්‍ෂයම (ඇතැම් අය) තණ්‌හාවෙන් ආශාවෙන්. මසුරුකමින්, ලෝභකමින් වෙලී – පැටලී රොක්‌ත වී සිටින බව අපට අත්දැකීමෙන් දකින්ට ලැබී ඇත. මෙබඳු ජීවිතවලට භවය දිගය. භවය කෙටිකර ගත යුතුව තිබියදී දිගුකර ගන්නට අප යත්න දරන්නේ ඇයි? කිසියම් පුද්ගලයෙක්‌ කොතරම් භාණ්‌ඩ, මිල මුදල් රැස්‌ කළ ද ඒ කිසිවක්‌ රැගෙන යන්නේ නැත. රැගෙන යන්නේ හොඳ හා නරක පමණි. කිසියම් පුද්ගලයෙක්‌ ජීවිතයේ යථාර්ථය තේරුම්ගෙන දිවි ගෙවා යහතින් අනුන්ට හිංසනයක්‌ නොවන ආකාරයෙන් දිවි ගෙවා ඇත්නම් ඊළඟ භවය ගැන අපට ප්‍රශ්නයක්‌, අර්බුදයක්‌, ගැටලුවක්‌ ඇති වන්නේ නැත. පුද්ගලයාගේ දිවිය කෙළවර කරගෙන යන ගමන ගැන සෑහීමකට පත් විය හැකිය. අප කිසිවක්‌ රැගෙන යන්නේ නැත යන ආකල්පයේ පිහිටා කටයුතු කළ යුතුය. බොහෝ අය දේපළ එක්‌රැස්‌ කරගෙන පොදි බැඳගෙන ජීවත් වන්නේ හැමදා ජීවත්වීමේ පරමාර්ථයෙනි. මේ අයට බුදු සමය ගැන අවබෝධයක්‌ නොමැති නිසාය. ජීවිතයේ යථාර්ථය මනාව තේරුම් ගෙන නැත. එහෙත් මරණය කොයි මොහොතේද යන්න කාට නම් කිව හැකිද.

විශ්වය දිගු වුවද මිනිස්‌ දිවිය ඉතා කෙටිය. ඉතාම අමාරුවෙන් ලබාගත් මිනිස්‌ ආත්මය තවත් සරු කර ගන්නට යත්න දැරිය යුත්තේ තමා ම ය. තමන් වෙනුවෙන් තමන්ම තීරණය ගත යුතුය. අන් අයට තමන් වෙනුවෙන් නිවන් දැකිය නොහැකිය.

ආත්මාර්ථකාමී හැඟීම්

සමාජයේ බොහෝ චරිත දෙසට නෙත් සිත් යොමු කරන විට ආත්මාර්ථකාමී හැඟීම්වලින් උපයුක්‌ත අයයි අපට වැඩි වශයෙන් හමුවන්නේ, දක්‌නට ලැබෙන්නේ, මොවුන්ගේ චරිත දෙසට නෙත් යොමු වන විට අපට ඔවුන් කෙරෙහි මහත් කනගාටුවක්‌ ඇති වේ. මොවුන් මෙසේ දිවි ගෙවන්නේ සදාකාලිකව මෙලොව සිටින්නටද? එසේ සිතීම මහත් මුළාවකි, මිථ්‍යාවකි, මායාවකි.

අප නිතරම හැසිරිය යුත්තේ අන් අයට හිංසනයක්‌ නොවන අයුරිනි. අහිංසාවාදී දිවිපෙවත පරමාදර්ශීය යහපත් දිවිය යනු මහා පාඩම් පොතකි. එම දිවියෙන් උගත හැකි පාඩම් අප්‍රමාණය. කතාබහ හැසිරීම් රටාව – ගමන් මග පරෝපකාරය යන සියල්ල දිවියට ගෝචර කර ගත යුතුය.

මතුවිය යුතු කරුණාව

බුදුරදුන්ගේ දිවියේ පැවතුනේ මහා කරුණාවයි. සාමාන්‍ය දිවියක රැඳී ඇත්තේ ‘කරුණාවයි’ තමන්ගේ හිතමිත්‍රයන් – නෑදැයන් – අසල්වැසියන්ට උදව් උපකාර කළ යුතුය. නිතරම “කරුණාව” දැක්‌විය යුතුය. කරුණාවෙන් පිරි දිවිය ප්‍රසන්නය.

බොහෝ ජීවිත අප්‍රසන්න තත්ත්වයට පත්ව ඇත. ඇසුර තබා දැකීමත් අප්‍රසන්නය. මෙවන් තත්ත්වයකට පුද්ගලයා යොමු වූයේ ඇයි· මතුපිටින් එක දිවියකුත් අභ්‍යන්තරයේ තවත් + දිවියකුත් තිබිය නොහැකිය. මතුපිට හා අභ්‍යන්තරය දෙකම එක සමාන විය යුතුය. බොහෝ චරිතවල මතුපිටින් දකින තත්ත්වය නොවේ අභ්‍යන්තරයේ තිබෙන්නේ. මෙය සමාජය මුළාකිරීමකි. අවසානයේ මුළාවන්නේ තමාමය.

ජීවිතයට “න්‍යාය” (Theory) නොවෙයි ප්‍රායෝගික (Practcical) විය යුතුය. න්‍යායයෙන් සිදු වන්නේ භවය තවත් දිගු කිරීමකි. ප්‍රායෝගික තත්ත්වයෙන් සිදු වන්නේ භවය කෙටි කර ගැනීමකි. බුදුසමයේ අන්තර්ගත මැදුම් පිළිවෙත (Middle Path) අනුව අපගේ දිවිය යොමු කර ගත යුතුය. අත්තකිලමතානු යෝගයෙනුත්, කාමසුඛල්ලිකානු යෝගයෙනුත් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව අප අනුගමනය කළ යුතුය.

මැදහත් පිළිවෙත

යමක දැඩිව එල්බ නොගත යුතුය. අතිධාවනකාරීත් නොවිය යුතුය. මැදහත් සිතින් බැලීම තමයි සිදු විය යුත්තේ “මඡ්Cධිමා පටිපදා” පෙළ දහමෙහි බහුල වශයෙන් සඳහන් වන වදනකි අරියෙයා අට්‌ඨංගිකො මග්ගො එයට සමගාමී වන්නකි. සම්මාදිට්‌ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන අංග අට පිළිබඳව පුද්ගලයාට යථාවබෝධ ඥනයක්‌ තිබිය යුතුය. අවසානයේ පුද්ගලයා ප්‍රවේශ වන්නේ ප්‍රඥ ශීල සමාධි යන ත්‍රිකයටය.

පුද්ගලයාට ප්‍රඥවක්‌ නැත්නම් දිවිමග සරුකර ගන්නට අවකාශයක්‌ නැත. ප්‍රඥව යනු භවයෙන් එතෙර වීමේ නියමයයි. භවයෙන් හිස්‌ව එතර වීම නොවේ. සිදුවිය යුත්තේ පූර්ණ මිනිසෙකු බවට පත්වී භවයෙන් නික්‌මීමට අදිටන් කර ගත යුතුය.

“යහපත” හා “අයහපත” දෙකකි. “යහපත” තමයි විෂය මූල කරගත යුත්තේ. යහපත් සමාජ ප්‍රගමනයට අදාළවන ශික්‌ෂණය මත පිහිටා පුද්ගලයා ජීවත් විය යුතුය. යහපත් ගති පැවතුම් මොනවාද යන්න මේ මැදුම් පිළිවෙතෙහි අන්තර්ගත වෙයි. ජීවිතාවබෝධය ප්‍රස්‌තුත කොට ගෙන අනවබෝධය බැහැර කොට ප්‍රඥශීලි ගමන් මගක්‌ පුද්ගලයා ඇරඹිය යුතුය.

නිහතමානි ගති ලක්‍ෂණ

ප්‍රඥවන්ත පුද්ගලයා තමන් කවරෙක්‌ද යන්න ලොවට හෙළි නොකරයි. නිහතමානී ගති ලක්‍ෂණ වලින් සමලංකෘතයි. ක්‍රියා පටිපාටියෙන් තමයි ඔහුගේ ප්‍රඥවන්ත භාවය හෙළිවන්නේ. පුද්ගලාභිමානය ජීවිතයෙන් නික්‌ම යා යුතුය. ප්‍රඥව පදනම් කර ගත් දිවියක අභිමානයක්‌ නොමැත. තමන්ට විෂය නොවන දේ බැහැර කොට විෂය වන දේ පමණක්‌ උකහා ගත යුතුය. භාවයාශ්‍රිත ගමනකට තේමාව කර ගන්නා පුද්ගලයා භවචක්‍රය කෙටි කර ගනියි. පරක්‌ තෙරක්‌ නොපෙනෙන භවය කෙරෙහි පුළුල් වූ දෘෂ්ඨිකෝණයක පිහිටා දිවිමග ඇරඹීමට මුලපුරයි. සමාජයේ ගැවසෙන, සැරිසරන පුද්ගලයන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය. චරිතාංග විවිධය, එකිනෙකෙට පරස්‌පර, ප්‍රතිවිරෝධි චරිත සමුදාය අපගේ ප්‍රඥාව විෂද කර ගන්නට අනුබලයකි. එම චරිත වලින් යහගුණ හා අගුණ මැන බලා කිරා සස¹ බලා එහි හරය පමණක්‌ උකහා ගත යතුය.

දුක්‌ඛාවලියෙන් මිදීම

යහපත හොඳ ගුණ බැහැර කරන සමාජයක්‌ කරා යන්නේ දිගු ගමනකි. භව චක්‍රය තමන්ගේ දිවියේ වෙලාගෙන පැටලී එය බේරුම් කර ගැනීමට ශක්‌තියක්‌ නොමැතිව අපමණ දුක්‌ඛාවලියකට පුද්ගලයා ගොදුරු වෙයි. දුක්‌ඛාවලියෙන් මිදීමට තමයි අප නිතරම අරමුණ කර ගත යුත්තේ.

ජීවිතය යනු දුකකි. සැප යනු තාවකාලික වූවකි. මේ දුක්‌ඛාවලියෙන් අප මිදිය යුතුය. එසේ මිදීමට අප උත්සාහයේ යෙදෙන්නේද අන් අය යටපත් කොට තමන් මතුවන්නට යත්න දැරීමත් අනුවණකමකි. මෝහයෙන් මුළාවීම අප අත්හැරිය යුතුය. මෝහය යනු මෝඩකමයි අනුවණකමයි. මේ මෝඩකම් ජීවිතයට බද්ධකොට ගන්නවාද? එය දිවියෙන් බැහැරකරනවාද යන්න කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුය.

බුදුසමය යනු අපගේ දිවියට අතිශය අත්වැලකි. බුදුසමය බලෙන් උකහා ගන්නට අනුබල දුන් එකක්‌ නොව එහි සත්‍යයක්‌ හරයක්‌ ඇත්නම් පමණක්‌ උකහා ගන්නා ලෙස බුදුරදුන් අපට පෙන්වා දුන්නේය.

ඒහි පස්‌සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදී තබ්බෝ විඤaඤdහීති යනුවෙන් බුදුරදුන් දෙසුවේ ඇවිත් බලන්න එහි කිසියම් හරයක්‌ ඇත්නම් උකහාගන්න යන්නයි. සත්‍යවාදී දහම කෙරෙහි අපගේ අවධානය යොමුකොට නිවැරැදි මාර්ගයේ ගමන් කළ යුතුය. සමාජයේ බොහෝ දෙනා ගමන් කරන්නේ වැරදි මාර්ගයේය. වැරැද්ද කොතැනද යන්න සොයා බලා ඉවසීමෙන් යුතුව තමන්ගේ ගමන් මග සකස්‌ කර යුතුය.

තමන්ගේ වැරදි හදාගැනීම

අන් අයගේ වැරදි සොයන්නට පෙරාතුව තමන් කෙරෙහි පවත්නා වැරදි දෙස බැලිය යුතුය. සමාජයේ බොහෝ අය කරන්නේ තමන් කෙරෙහි පවත්නා වැරදි දෙස නොබලා අන් අයගේ වැරදි සෙවීමය. ප්‍රඥවන්තයාගේ කාර්යය මෙය නොවේ. තමන්ගේ වැරදි ගොන්නක්‌ තියාගෙන අන් අයගේ සුළු වැරදිවලට යොමුවීම අනුවණ කමකි. මේ තත්ත්වයෙන් අප බැහැර විය යුතුය. බුදුසමයානුගත දිවියක්‌ ගත කිරීමට නිරන්තරයෙන්ම, අනවරතයෙන්ම අප හුරුවිය යුතුය. එසේ වුවහොත් ජීවිතය සාර්ථක තත්ත්වයකට පත් කර ගැනීමට පුළුවනි. ජීවිතයෙන් සමුගන්නට පෙරාතුව සහනශීලී දිවි පෙවතක්‌ ඇති කරගෙන තැන්පත් බවක්‌ එයින් උද්වහනය විය යුතුය. ධර්මයට නැඹුරු වූ පුද්ගලයාට සතුටින් ජීවිතයෙන් සමුගන්නට හැකියාවක්‌ ඇත. ජීවිතයක අවසානය කෙසේ සිදුවන්නේද යන්න කිසිවකුට කිව නොහැකිය. මෙම තත්ත්වය මනාව තේරුම්ගෙන සිටින කෙටි කාලය ඇතුළත යහජීවිතයක්‌ ගත කරන්නට නම් බුදුසමය ජීවිතයට බද්ධ කර ගත යුතුය. මෙයයි යථාවාදී තථාකාරී තත්ත්වය ස්‌වරූපය.

කොළඹ දිසාවේ සංඝ නායක,
ගොතටුව පාරමිතා ශ්‍රී මහා
බෝධිමලු විහාරාධිපති,
ලේඛනශූරී, ශාස්‌ත්‍රපති පණ්‌ඩිත
අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

අසමසම පාරමි පෙළහර

source:

 

මරදන්කඩවල, තෝරුවැව
කදිරාගම, ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ
කොළඹිස්සේ විමුක්තිරතන හිමි

 

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
දානං සීලංච නෙක්ඛම්මං
පඤ්ඤා විරියෙන පංචමං
ඛන්ති සච්චම අධිට්ඨානං
මෙත්ත උපෙක්‍ඛා ඉමා දස

කාරුණික පින්වත්නි,

නිවන යනු නිවීමයි. මොනවායේ නිවීමද? කෙලෙස්වල (පංචනීවරණවල) නිවීමයි. එම නිවීමට නම් දස පාරමිතා පිරිය යුතු ය. දස පාරමී පිරීමෙන් නිවන අවබෝධ කරගත හැකිය. නිවන අවබෝධ කරන මාර්ගය අරි අටඟි මඟ කීවත් දස පාරමී ධර්ම කීවත් දෙකක් නොව එකක්මය. එය පූර්ණය කරන (පුරන) පිරිස බෝධිසත්වයන්ය. ‘බෝධි’ යනු නිවනයි. ‘සත්ව‘ යනු ඇලීමයි. නිවනට ඇලුණු සත්වයන් බෝධි සත්වයන් ය.

නිවනට පත්වන ක්‍රම තුනක් ඇත. එනම්, තුන්තරා බෝධියයි. එම බෝධි තුන බුදු, පසේ බුදු, මහරහත් නම් වේ. සම්මා සම්බෝධිය අවබෝධ කරන උතුමෝ බුද්ධ බෝධි සත්වයෝ ය. පසේ බුදු බව අවබෝධ කරන උතුමෝ පච්චේක බෝධි සත්වයෝය. මහරහත් බව අවබෝධ කරන උතුමෝ ශ්‍රාවක බෝධිසත්වයෝය. නැතහොත් ශ්‍රැත බෝධිසත්වයෝය. නිවන අරමුණු කරගෙන පාරමී පුරන්නෝ බෝධිසත්වයන්ය. පාරමි යනු කුසලපුරුද්දයි. පාරමි දහය නම් දාන, ශීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්ය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රි සහ උපේක්‍ඛා ය. සම්මා සම්බුද්ධත්වය සඳහා එක් පාරමිතාවක් තුන් ආකාරයකට පිරිය යුතුයි. එනම් පාරමි, උපපාරමි, පරමත්ත පාරමි යනුවෙනි. එක් පාරමිතාවක් තුන් ආකාරය බැගින් පාරමි තිහක් වශයෙනි. පසේ බුද්ධත්වය සඳහා පාරමි, උප පාරමි වශයෙන් විස්සක් පිරිය යුතුයි. අරහත් බෝධිය සඳහා පාරමි දහයක් පිරිය යුතුයි.

පින්වත්නි, තුන්තරා බෝධියට පත්වන බෝධිසත්වයන් තුන්වැදෑරුම්ය. ශ්‍රද්ධා අධික බෝධිසත්වයන්, ප්‍රඥා අධික බෝධිසත්වයන්, වීර්ය අධික බෝධිසත්වයන් වශයෙනි. මීට කලින් ලොව පහළ වී වදාළ කාශ්‍යප බුදුන් වහන්සේ ශ්‍රද්ධා අධික ය. අප ගෞතම බුදුන්වහන්සේ ප්‍රඥා අධිකය. මතු පහළ වන මෛත්‍රී බුදුන් වහන්සේ වීර්ය අධිකය. ශ්‍රද්ධාව යනු පැහැදීම, විශ්වාසයයි. ප්‍රඥාව යනු නුවණ, අවබෝධයයි, වීර්ය යනු උත්සාහයයි. බෝධිසත්වයන්ගේ වෙනසක් වූවාට නිවනේ වෙනසක් නැත. කෙසේද කියතහොත් මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා මුහුදට පැමිණි පසු එකකි. එහි වෙනසක් නැත්තාක් මෙනි. බෝධිසත්වයන්ගේ චරිතානුකූලව වෙනසක් වූවාට අවබෝධ කරන නිවනෙහි වෙනසක් හෝ ධර්මයෙහි වෙනසක් හෝ නැත.

සසරේ දුක දැක නිවන අවබෝධය සඳහා ත්‍රිවිධද්වාරයෙන්ම පාරමි පිරිය යුතු ය. මනෝප්‍රනිධාන පාරමි, වාග්ප්‍රනිධාන පාරමි, කායප්‍රනිධාන පාරමි එනම් මනැසින්, වචනයෙන්, කයෙන් වශයෙනි. මෙහිදී මුලින්ම පාරමි පුරන්නේ මනැසිනි. මනෝප්‍රනිධාන පාරමිතාව, සම්බන්ධ පුවත මෙසේ විස්තර කළ හැකි ය. අපගේ සර්වඥයන් වහන්සේ මේ මහා කල්පයෙන් විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට යට නන්ද නම් අසංඛ්‍ය කල්පයෙහි මෙයින් බුදුවරුන් පන්ලක්‍ෂ දොළොස් දහස් විසිහතර දෙනෙකුට ඈත, බ්‍රහ්ම දේව නම් බුදුන් සමයෙහි කරන්ඨක නම් නුවර අතිදේව නම් රජව ඉපැදුනහ. බ්‍රහ්මදේව නම් බුදුන්වහන්සේ යමාමහ ප්‍රාතිහාර්යය පානු දැක ‘මමත් මතු අනාගතයේ මහානුභාව සම්පන්න බුදු කෙනෙක් වෙමි’යි සිතාගත්හ. ඉන්පසු එම මහරජ තෙමේ මෙම බ්‍රහ්මදේව බුදුන්වහන්සේට රනින් මල් තුනක් සාදවා පූජා කර පසඟ පිහිටුවා වැඳ ලොව්තුරා බුදු වෙම්වා’යි ප්‍රාර්ථනා කළේ ය. එතැන් පටන් අසංඛ්‍ය කල්ප ලක්‍ෂ හතක් ඇතුළත ලොව පහළ වූ එක්ලක්‍ෂ විසිපන්දහසක් බුදුන් දැක ඒ බුද්ධශාසනවල දානාදී පාරමි ධර්ම සම්පූර්ණ කර මනෝප්‍රනිධාන පාරමි ධර්මය සම්පූර්ණ කළේ ය.

මෙයින් අසංඛ්‍ය කල්ප ලක්‍ෂ දහතුනකට ඉහත වාග්ප්‍රනිධාන ආරම්භ කළේ ය. එම කල්පය සර්ව භද්‍ර නම් අසංඛ්‍ය කල්පයයි. එම කල්පයෙහි ධනංජවතී නම් නුවර සාරද නම් සක්විති රජව උපන. එවකට ලොව පහළ වී සිටියේ පුරාණ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ දැක පැහැදී බුදුන් ප්‍රධාන ලක්‍ෂයක් මහරහතුන්ට රනින් ආවාස සාදවා පූජා කළේ ය. මෙම බුදුන් වහන්සේගේ ආවාසය සත් මහලින් යුක්ත වන අතර එම ආවාසයේ බිත්ති, වහල, ජනේල, රත්රන්ය. බිත්තිවලට හා බිමට මැණික් ගල් අල්ලා සකස් කර ඇත. පුටු, මේස, ඇඳන් ආදිය රනින් කරවා මැණික් ඔබ්බවා සකස් කළ අතර මෙම මහා විහාරය බුදු පාමොක් මහා සංඝරත්නයට සඟසතු කොට පූජා කළේ ය. එතැන් සිට දින හතක් රත්රන් ලිප්වල, රන් භාජනවල දානය සකස් කර රන් පාත්‍රවල දානය පිළිගැන්වීය. අවසානයේ පුරාණ ගෞතම බුදුන් පාමුල පසඟ පිහිටුවා වැඳගෙන ‘ස්වාමිනි මම මේ මහා දානය දී දිව්‍ය මිනිස් සැප ප්‍රාර්ථනා නොකරමි. මම ද මතු අනාගතයේ දවසක ඔබ වහන්සේ මෙන්, ශාක්‍ය කුලයෙන් නික්ම ගෞතම නමින්, ඇසතු වෘක්‍ෂ මුලයේ දී දස බිම්බරක් මාර සේනාව පරාජය කොට ලොව්තුරා බුදු වෙමි’ යි ප්‍රාර්ථනා කළේ ය. ඉන්පසු බුදුවරුන් තුන්ලක්‍ෂ අසූහත්දහසක් දැක ඒ බුද්ධශාසනවල පාරමි ධර්ම සම්පූර්ණ කළේ ය. අසංඛ්‍ය කල්ප ලක්‍ෂ නවයක් වාග්ප්‍රනිධාන පාරමිතාව පිරුවේ ය. මනෝප්‍රනිධාන කල්ප ලක්‍ෂ හතයි, වාග්ප්‍රනිධාන කල්ප ලක්‍ෂ නවයයි. එකතුව අසංඛ්‍ය කල්ප ලක්‍ෂ දහසයයි. මේ කාලය තුළ පන්ලක්‍ෂ දොළොස් දහසක් බුදුවරුන් දැක්කේ ය.

මෙයින් අසංඛ්‍ය කල්පලක්‍ෂ සතරකට ඉහත දීපංකර නම් බුදුන් වහන්සේ සාරමණ්ඩල නම් කල්පයේ ලොව පහළ වී වදාළ සේක. එසඳ බෝධිසත්වයෝ කායප්‍රනිධාන පාරමිතාව සම්පූර්ණ කිරීමට, සුමේධ තාපසව ඉපිද තරුණ බවට පැමිණී කල තම මවුපියන්ගේ වියෝවයෙන් කලකිරී තමාට උරුම ධනය දුගී මගී යාචකයන්ට දන් දී හිමාල වනයට ගොස් සෘෂිප්‍රවෘජාවෙන් පැවිදිව ධ්‍යාන, අභිඥා උපදවා සිටින කල වස්සාන සමය එළැඹුණු හෙයින් වස්විසීමට තැනක් සොයමින් ඇවිදින විට පිරිසක් එකතු වී පාරක් ශුද්ධ කරමින් සිටිනු දුටුවහ. එම පිරිසගෙන් කුමක් කරන්නේදැයි විචාළහ. හෙට දින දීපංකර බුදුන් ප්‍රධාන රහතන් වහන්සේ හාරලක්‍ෂයක් මේ රටට දනට වඩින බව දැන්වීය. ඒ අවස්ථාවේ සිත පැහැදී මේ පින්කමට සම්බන්ධ වීමට ඇත්නම් මනායැ’යි සිතා පි‍්‍රය මිතුරනි, මටත් මේ පින්කමට සම්බන්ධ වීමට හැකිදැ’යි විමසුවේ ය. එකල ඔවුහු පිළිවන් බව කියූ පසු මටත් ශුද්ධ කිරීම සඳහා කොටසක් ලබා දෙන්න යැයි ඉල්ලා සිටියේ ය. ඔවුහු මඩගොහොරුවක් සහිත බිමක් ලබා දුන්හ. එය සතුටින් පිළිගෙන බුද්ධ උපස්ථානයක් කරන්නට සුදුසු වේලාව කියා සිතාගෙන, මඩවළ පුරවන්නට පටන් ගත්තේ ය.

මඩවළ පුරවා නිමවෙන්නට කලින් බුදුන් වඩින වෙලාව විය. දීපංකර බුදුන් ප්‍රධාන හාරලක්‍ෂයක් භික්‍ෂූන් වඩිනු දැක කළයුතු කිසිවක් නොමැති බව දැන මඩවළ මත දිගා වී බුදු බව පතා, බුදුන් ප්‍රධාන හාරලක්‍ෂයක් භික්‍ෂූන් මගේ ශරීරය මතින් වඩින සේක්වායි ප්‍රාර්ථනා කර සිටියේ ය. දීපංකර බුදුන් වහන්සේ, තමා උදෙසා ජීවිතය පූජා කොට සිටින මහා පුරුෂයා දැක අනාගතයෙහි බුදු වන බව දැන භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, මේ මහා පුරුෂයා අනාගතයෙහි අසංඛ්‍ය කල්ප ලක්‍ෂ හතරකින් පසු ගෞතම නමින් බුදුවන්නේ යැ’යි නියත විවරණ දී වදාළ සේක. එතැන් සිට බුදුවරුන් විසිහතර නමක දැක ඒ ශාසනවල පාරමි පුරමින් නියත විවරණ ලබා ගත්හ.

ඇස්, ඉස්, මස්, ලේ දන් දෙමින් පැමිණ වෙස්සන්තර ආත්මයේ සෑම දේම හත්සියය බැගින් දන් දුන්නේ ය. රාජ්‍ය, අඹු දරුවන් දන් දී පාරමී සම්පූර්ණ කර මරණින් මතු තුසිත දෙව්ලොව සන්තුසිත දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපිද සිටියදී සතර වරම් දෙවිවරු පැමිණ,

කාලො යංතෙ මහා වීර
උප්පජ්ජ මාතු කුච්චියං
සදෙවකං තාර යංතො
බුජ්ජස්සු අමතං පදං

යන ගාථාවෙන් ආරාධනා කළහ.

“මහා වීරයන් වහන්ස, දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් ලොව්තුරා බුදුවීමට මව්කුස ඉපදීමට කාලයයි.”

දෙවියන්ගේ ආරාධනාව පිළිගත් මහා බෝසතාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස්මහ බැලුම් බලා මහා මායා දේවියගේ කුසේ, සුද්ධෝදන මහරජාණන්ට දාව පිළිසිඳ ගෙන දස මස් ඇවෑමෙන් මව්කුසින් බිහි වූ සේක.

කාලං දීපංච දේසංච
කුලං මාතර මෙවච
එතෙ පංච විලොඛෙත්වා
උප්පජ්ජන්ති තථාගත

 

 

අවුරුදු විසිනවයක් ගිහිගෙයි සිට, මහල්ලකු, ලෙඩකු, මළමිනියක් හා පැවිදි රුවක් දැක සංසාරයේ ස්වභාවය මේ යැයි අවබෝධ කොට සංසාර දුකින් නිදහස් වීම සඳහා විමුක්තිය සොයා ගැනීමට මහා අභිනිෂ්ක්‍රමණය කළේ ය. සා අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවේ යෙදි අත්තකිලමතානුයෝගය අනුගමනය කර සත්‍ය අවබෝධ කර ගැනීමට නොහැකි බව අවබෝධ වී මධ්‍යම ප්‍රතිපදාවෙන් දස බිම්බරක් මාර සේනාව පරාජය කර ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත් වූහ. සසරින් සදහටම මිදුනහ. එදා විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර බ්‍රහ්මදේව බුදුන් දැක කළ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගත්හ.

ත්‍රිවිධ බෝධියෙන් නිවන් අවබෝධ කර ගන්නට කැමැති සියලු දෙනා විසින් බුද්ධ කාරක ධර්ම හෙවත් දස පාරමි ධර්ම සම්පූර්ණ කරනු ලැබිය යුතු ය. ඒ සඳහා පාරමි ධර්ම ගැන හා භාවනා මාර්ගය ගැන අවබෝධයක් තිබිය යුතුයි. පාරමි ධර්ම පුරනවා කීවත්, අරි අටඟි මඟ වඩිනවා කීවත්, ශීල, සමාධි, ප්‍රඥා දියුණු කරනවා කීවත්, සමථ- විපස්සනා වඩනවා කීවත් එකක් බව මතක තබා ගෙන කටයුතු කළ යුතු ය. බුදුවීමට නම් කායප්‍රනිධාන ලෙස අවමවශයෙන් අසංඛ්‍ය කල්ප ලක්‍ෂ හතරක්වත් පාරමි පිරිය යුතු ය. පසේ බුදු වීමට නම් කායප්‍රනිධාන පාරමිතාව අසංඛ්‍ය කල්ප ලක්‍ෂ දෙකක් වත් පිරිය යුතුයි. රහත්වීමට නම් කායප්‍රනිධාන පාරමිතාව අසංඛ්‍ය කල්ප ලක්‍ෂ යක්වත් පිරිය යුතු ය.

ජීවිතයේ සෑම මොහොතකම ශ්‍රද්ධාවෙන්, සිහියෙන්, වීර්යයෙන් පාරමී පුර්ණය වන ආකාරයට ගත කළ යුතු ය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුතුව මේ ගෞතම බුද්ධශාසනයේදීම නිවනින් නිවීමට කටයුතු කිරීම අවැසිය.

තෙරුවන් සරණයි !

N-B-C News Special on Buddhism in America

බුදුරදුන් හඳුනා ගනිමු

බුදුරදුන් හඳුනා ගනිමු

කීර්ති විජයතුංග source:

තුන් ලොවට අග්‍රවූ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි බුද්ධත්වය ලැබූ දින සිට උන්වහන්සේ ජීවත්වූ ඉතිරි අවුරුදු 45 තුළත් ඉන් පසුව අද දක්‌වාත් හඳුනාගැනීමට අපහසු අයෙක්‌ වෙති.

බුද්ධත්වය ලැබූ පසු පස්‌වග මහණුන් හට ධර්මය දේශනා කිරීමට ඉසිපතනයට වඩින විට මගදී හමුවූ උපක ආජීවකයාට උන්වහන්සේ විසින්ම තමා කවුදැයි හඳුන්වා දුන්නද ඔහුට බුදුන් හඳුනාගැනීමට නොහැකි විය.

අරිය පරියේසන සූත්‍රය – ම. නි. (01)

ඉන්පසුව පස්‌වග මහණුන්ට ද උන්වහන්සේව හ»නාගැනීමට නොහැකිවූ විට, තමා චතුරාර්ය සත්‍ය එකක්‌ වට 03 බැගින් 12 ආකාරයකින් අවබෝධ කරන තෙක්‌ (ඒවං තිපරි වට්‌ටං ද්වාදසාකාරං) සම්මා සම්බුද්ධත්වය ලොවට ප්‍රකාශ නොකළ බව පවසා ‘ධර්ම චක්‍රය’ දෙසූ විට උන්වහන්සේ බුදුරදුන් හඳුනාගත්හ.

ධම්ම චක්‌ක පවත්වන සූත්‍රය – සං.නි. 5-2

මුණ ගැසීමට බුදුරජාණන් වහන්සේ සොයා ගිය උන්වහන්සේ වෙනුවෙන්ම පැවිදිවූ පුක්‌කුසාති හට උන්වහන්සේ මුණ ගැසුණද හඳුනා ගැනීමට නොහැකි විය.

ධාතු විභංග සූත්‍රය ම. නි. (03)

එනිසා බුදුරජාණන් වහන්සේ යනු ශරීරයෙන් හෙවත් රූපයෙන් දැකීමට නොහැකි පුද්ගලයෙක්‌ වේ. මෙයට හොඳම උදාහරණය හමුවන්නේ තමන් වහන්සේගේ කුණු කය දැකීමෙන් ඵලක්‌ නැති බවත්, තමන් වහන්සේ දැකීමට නම් ධර්මය දැකිය යුතු බවත්, ධර්මය දකින්නා තමන්වහන්සේ දකින බවත් එක එල්ලේම වක්‌කලී තෙරුන්ට පැවැසීම තුළිනි. ‘යෝ ධම්මං පස්‌සති සෝ මං පස්‌සති, යෝ මං පසස්‌ති සෝ ධම්මං පස්‌සති’.

වක්‌කලී සූත්‍රය – සං.නි. (03)

නිවන් දැකීමට බුදුන් දැකීම අනිවාර්ය, අත්‍යවශ්‍ය අංගයකි. එම නිසා බුද්ධෝත්පාද කාලයකදී රහත් බව දක්‌වා වූ සියලු මාර්ගඵල ලැබීමේදීද, අබුද්ධෝත්පාද කාලයකදී නිවන් දකින පසේ බුදුරජාණන් වහන්සේලා ද බුදුන් දැකිය යුතුය. එසේ නම් මේ ආකාරයෙන් කුමන කාලයකදී වුවද දැකිය හැකි ‘සදාකාලික’ බුදුරජාණන් වහන්සේ කවරෙක්‌ද?

ශ්‍රී මුඛ දේශනාවට අනුව ධර්මය දැකීම බුදුන් දැකීම වේ නම් බුදුන් දැකීමට දැකිය යුතු ධර්මය කුමක්‌ද? බුද්ධත්වය ලැබූ පසු උන්වහන්සේ විසින් තමා අවබෝධ කළ ධර්මය තම ගුරු තනතුරේ තබාගත් බව අපි දනිමු. (උරුවෙල සූත්‍රය – අං.නි. (02)) එසේනම් බුදුන් දැකීමට දැකිය යුතු ධර්මය යනු එසේ මෙසේ එකක්‌ නොව එය ‘බුදුන්ගෙන් ගුරු’ වේ. මෙම බුදුන්ගෙන් ගුරු යනු ‘සර්වකාලීන’ හෙවත් ‘සදාකාලික’ බුදු කෙනකු බව ඉහතින් පැවැසුවෙමි.

බුද්ධත්වයෙන් පසු උන්වහන්සේගේ උදානයෙහි තමන් වහන්සේ ලොවට ශ්‍රේෂ්ඨ බව ‘සෙට්‌ඨෝ හමස්‌මිං ලෝකස්‌ස්‌ යනුවෙන් දේශනා කර ඇත. මෙලෙසම තව තැනක අංග 08 කින් යුත් මාර්ගය ශ්‍රේෂ්ඨ බව ‘මග්ගානට්‌ඨංගිකෝ සෙට්‌ඨෝ’ යනුවෙන්ද විරාගය හෙවත් නිවන ධර්මයක්‌ වන අතර ශ්‍රේෂ්ඨ බව ‘විරාගෝ සෙට්‌ඨෝ ධම්මානං’ යනුවෙන්ද දේශනාකොට ඇත.

ධම්ම පදය – මාර්ග වර්ගය

සත්‍යයම ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේලා ‘දෙපිට කාට්‌ටු වචන’ හෙවත් එකම දෙයක්‌ පිළිබඳ වෙනස්‌ විරුද්ධ කතා දේශනා නොකරති. එසේ නම් ලොවට ශ්‍රේෂ්ඨ බුදුන් ලෙස හඳුනාගත යුත්තේ උන්වහන්සේගේම ශේ්‍රෂ්ඨ සොයා ගැනීම වන ‘ධර්මය’ හෙවත් ‘ආර්ය අෂ්ඨාංගික මාර්ගය’ හෙවත් ‘විරාගය’ වන නොඇලීමය.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මහා පුරුෂ ලක්‌ෂණ 32 ක්‌ තිබූ බව අපි අසා ඇත්තෙමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අංග අටෙහි උප අංග එකතු කළ විට ද 32 ක්‌ ලැබේ. මෙයද ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු බුදුරජාණන් වහන්සේ බවට නිදසුනකි.

බෞද්ධයා සරණ යන තෙරුන් හෙවත් ‘ත්‍රිවිධ රත්නය’ ඒක වචන වන නිසා බුද්ධ, ධම්ම, සංඝ යනු එක ඒකකයක්‌ බව පැහැදිලිය. තර්කානුකූලව බැලූ විට ‘මා හට බුදුන් සරණ හැර අන් සරණක්‌ නැත’කියා නැවත ‘මට ධර්මයේ සරණ හැර අන් සරණක්‌ නැත’, ‘මට සංඝයාගේ සරණ හැර අන් සරණක්‌ නැත’ කියා කියූ විට සිදුවිය හැකි එකම දෙය නම් බුද්ධ, ධම්ම, සංඝ යනු එකක්‌ම වීම පමණි. (නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං, නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේසරණං වරං, නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං)

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වැඳීමට ඇති ගාථාවල අංග එකතු කළ විට ද 32 ක්‌ ලැබේ. (බුද්ධ – 09, ධම්ම-06, සංඝ 17) එයින් පෙනෙන්නේද බුද්ධ, ධම්ම, සංඝ යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම හෙවත් බෞද්ධයාගේ එකම සරණ බවයි. (චරණ) ගමන බවයි.

සත්‍යවශයෙන් පෘතග්ජන බෝධිසත්ව සිදුහත් තවුසා විසින් පෙර පාරමී බලයෙන් සොයාගත්තක්‌ වුවද උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශ්‍රේෂ්ඨතම දෙය බව අවබෝධ කරගන්නා ලද්දේ එය වැඩීමෙන් බුද්ධත්වයට පත්වූ ලොව්තුරා සම්මාසම්බුදුරජාණන් වහන්සේය. මෙම සත්‍යය අවබෝධ වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනාවෙන් වඩා ‘අරියෝ අට්‌ඨංගිකෝ මග්ගෝ භාවනා පාරිපූරිං’ (මහා සලායතනික සූත්‍රය ම.නි. 03) නිවන දුටුවිට පමණක්‌ තමුන් හට නිවන ලබාදුන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය විසින් බව අවබෝධ වීමෙනි. එම නිසා එය අවබෝධ වන පිළිවෙළට චතුරාර්යය සත්‍යයන් අතර (හේතු-ඵල ධර්මයක්‌ ලෙස නොව ඵල – හේතු ධර්මයක්‌ ලෙස) අවසාන සත්‍යය වශයෙන් දක්‌වා ඇත.

ඉහත සාධක තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ‘පරමාර්ථ බුදුන්’ වහන්සේ හෙවත් ‘සදාකාලික බුදුරජාණන් වහන්සේ’ බව අප විසින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. එයම සියලු බුදුවරුනට බුද්ධත්වය සාක්‌ෂාත් කරදෙන බැවින් සියලු බුදුවරුන් විසින් ගුරු තනතුරේ තබාගනු ලැබේ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒ තුළින් අවබෝධ වන චතුරාර්ය සත්‍යයත් සමස්‌ත බුද්ධ ධර්මය හෙවත් ශාසනය වේ. නොඇලීමට/විරාගයට පත්වීමෙන් සිත නිවන බවට සම්ප්‍රාප්ත වේ. ‘නිබ්බානය සංවත්ති’ (ධම්ම චක්‌ක පවත්තන සූත්‍රය) එබැවින් නොඇලුණු සිතම නිවන හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වේ. අනෙක්‌ අතට නිවන ලැබීමේදී සිත ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවට හෙවත් පරමාර්ථ බුදුන් බවට පත්වේ. මෙයින්ම ‘බුදුන් දැක නිවන් දැකීම’ හෙවත් ධර්මය දැකීමෙන් බුදුන් දැකීමත් බුදුන් දැකීමෙන් ධර්මය දැකීමත් සිදු වේ.

එසේ නම් එම ‘හපන්කම’ කිරීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනාවෙන් සම්පූර්ණ කළ යුතුය. අවාසනාවකට අද ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු ‘ජීවන ක්‍රමයක්‌’ මිස භාවනාවක්‌ නොවේ. සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලැබීමට පුරුදු පුහුණු කළ සුවිශේෂී භාවනාව අද අතුරුදන්වී ඇත. උන්වහන්සේ භාවනා ආසනයේ සිටින ආකාරය පමණක්‌ පිළිමයේ ඉතිරිව ඇත.

මඡ්Cධිම නිකායේ මහා සයායතනික සූත්‍රයට අනුව සමථ/විදර්ශනා යුගන්ධව වැඩීමත් සතර සතිපට්‌ඨාන/සතර සම්මප්‍රධාන/සතරඉර්ධිපාද/පංච ඉන්ද්‍රිය,/පංචබල/සප්ත බොඡ්Cධංග ආදී සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කිරීමෙන් පූර්ණත්වයට පත් වේ.

දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ තම අවසාන ශ්‍රාවකයා වූ සුභද්‍ර හට යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්නම් එහි රහතන් වහන්සේ ඇතුළු මාර්ගඵලලාභීන් සිටින බවත් යම් ශාසනයක මාර්ගඵලලාභීහු සිටිත් නම් එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති බවත් දේශනා කර ඇත.

බුදුරජාණන්වහන්සේ විසින්ම ‘අනුත්තර’ හෙවත් ‘ලෝකෝත්තර ලෙස හැඳින්වූ ‘ධර්ම චක්‍රය’ හෙවත් ‘මධ්‍යම ප්‍රතිපදාව’ නමැති ආර්ය අෂ්ඨාංගික මාර්ගයද අද දක්‌නට ඇත්තේ ලිත ආර්ය අෂ්ඨාංගික මාර්ගයක්‌ ලෙස පමණක්‌ වන අතර එයද ලෞකික දෙයක්‌ බව පැහැදිලිව පෙනේ. ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් නිවන් දැකීමට කළ යුතු ‘අභ්‍යාසය’ ලෝකෝත්තර හෙවත් අනුත්තර භාවනාවක්‌ විය යුතුය.

අබුද්ධෝපත්ත කාලයකදී මෙම ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ග භාවනාව හෙවත් ලෝකෝත්තර භාවනා අභ්‍යාසය හෙවත් පරමාර්ථ බුදුන් හඳුනා ගැනීම මගින් පසේ බුදුවරු බිහිවෙති.

බුද්ධෝත්පාද කාලයකදී නම් පරමාර්ථ බුදුන් හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය හඳුනා ගැනීමෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිට සියලු මාර්ගඵල ලාභීහු බිහිවෙති. ධර්මය නාම මාත්‍රිකව හෝ ඉතිරිව ප්‍රායෝගික අභ්‍යාසය අන්තර්ධානව ඇති මෙවැනි කාලයකදී ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරමාර්ථ බුදුන් ලෙස දැන හඳුනාගන්නා යම් ශ්‍රේෂ්ඨ, බුද්ධිමත් පුරුෂයෝ සිවුපිළිසිඹියාපත් මහ රහත් බව සාක්‌ෂාත් කරති. එසේ නැවත ප්‍රායෝගික මාර්ග අභ්‍යාසය සොයාගෙන දේශනා කරන විට නැවතත් ශ්‍රී සද්ධර්මය දීප්තිමත්ව බබලන අතර, නැවතත් මාර්ගඵලලාභීහු බිහිවෙති. මේ එවන් කාලයකි.

පරම දුර්ලභ බුදුඋපත

පරම දුර්ලභ බුදුඋපත

රුහුණ විශ්වවිද්‍යාලයේ
කුලපති
අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර
ශ්‍රී සුමනජෝති නා හිමි

source:

එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානුකම්පාය, අත්ථාය, හිතාය, සුඛාය, දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මා සම්බුද්ධො.

(අංගුත්තර නිකාය – ඒකක නිපාත)

 

“මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, බොහෝ දෙනාගේ සැප පිණිස, ලෝක සත්වයන් වෙත අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, එක ම පුද්ගලයකු පමණයි ලෝකයෙහි උපදින්නෙ. කවරෙක්ද එම එකම පුද්ගලයා? අර්හත් සම්‍යක් සම්බුද්ධයාණෝයි.”

අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය මහාබෝසත් තාපසතුමාගේ බුදුවීමේ සිට වසර 2602 වැන්නයි. බුදුන් වහන්සේ දෙසූ නිබ්බානගාමිනී සද්ධර්මය පිළිපදින අප උන්වහන්සේගේ සුවිශේෂත්ව ගුණ පිළිබඳ නිරතුරු සිහිපත් කිරිම අපේ ජීවිත ආලෝකවත් කරගන්නට අතිශයෝපකාරි වන බව සිහිකරන්න. බුදුන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ ධර්මය තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ ලෙස දැනගනු ලැබිය යුතු බවයි. ධර්මය දැන බුදුන් පිළිබඳත් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳත් එසේම ප්‍රත්‍යක්‍ෂයෙන් දතයුතුයි. බෞද්ධයා අන්ධ භක්තිකයකු නොවේ. ඔහු හැමදේම පිළිගන්නේ පසක්කොට දැකීමෙනි.

බුදුරජාණන් වහන්සේ, බුදුන් පිළිබඳ කරන ලද දේශනාවකදි ‘සුඛො බුද්ධානං උප්පාදො’ යනාදි ගාථා පාදයෙන් වදාළේ බුදු කෙනකුගේ ලොව පහළවීම ලෝකයාට සැප ගෙන දෙන බවයි. ඒ සැපය ලෞකික, ලොකෝත්තර වශයෙන් දෙකක් වේ. ලෞකික සැපය නම් සසර සැපයයි. ධන ධාන්‍ය, වතු පිටි, ඉඩකඩම් ,වාසනාවන්ත දූදරුවන් ආදිය ලැබීමෙන් ඉන්ද්‍රිය පිනවීමෙන් විඳින සැපය වෛදයිත සැපයයි. ලොකෝත්තර සැපය නම් සසරින් එතෙර වීමෙන් හෙවත් පිරිනිවීමෙන් ලබන සදාකාලික අවේදයිත සැපයයි. මේ දෙයාකාර සැපයම නිසිපරිදි ලැබිය හැක්කේ බුදුරදුන් වදාළ උපදෙස් අනුව ක්‍රියා කරන්නාට යි. මේ අනුව, සත්වයන්ට මේ දෙයාකාර සැපයම නිසිලෙස භුක්තිවිඳින්නට හැකිවන්නේ ඒ හරි මඟ කියා දෙන බුදුවරයකු ලොව පහළ වුවහොත් පමණි.

ලෝකයා අපේක්‍ෂා කරන ඉහත කී දෙ සැපයම ලබන්නට උපකාර වන අසහාය උත්තමයා වන බුදුන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ දේශනාවන්ගෙන් එක් දේශනයක් අනුසාරයෙන් කළ කෙටි විස්තරයක් මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරමි. ඉහතින් දැක්වූයේ එම දේශනයයි.

මේ දේශනාවේ, ඒකපුග්ගලො යි වදාළේ මෙවැනි දෙවැනි පුද්ගලයකු ලොව උපදින්නේ නැත කියන බවයි.බුදුරදුන්ගේ දේශනා ‘සම්මුති දේශනා’ සහ ‘පරමත්ථ දේශනා’ වශයෙන් දෙයාකාරයි.සම්මුති යැයි පැවසුවේ, අප යමක් වෙන්වෙන් කොට හඳුනා ගැනීමට තබාගන්නා මනුස්ස, බ්‍රහ්ම, යක්ඛ, රුක්ඛ, ඉත්ථී, පුරිස, මොග්ගල්ලාන ආදි පටබැඳි නාමයි. සම්මුතිය එසේ හුදෙක් පනවා ගැනීමක්ම වුවද සැබෑවටම පවතින්නේ පරමාර්ථ ධර්මයි. චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන යන එම පරමාර්ථ ධර්ම සතරයි. (මේවා පිළිබඳ වැඩි විස්තර දැනගන්න අංගුත්තර නිකාය අට්ට්කථාවෙහි ඒක පුග්ගල වග්ගය කියවන්න.) සත්ව හෝ මනුෂ්‍යයනගේ සම්මුති ය ඒ නම් දෙකමයි. රූපාදී පඤ්චස්කන්ධයද එහිම පරමාර්ථයි. ඒ අනුව, ’ඒකපුග්ගල’ යන්න සම්මුති වශයෙන් ගත්කල බුදුන් වහන්සේ ට වඩා උසස් හෝ ඒ සමාන හෝ තවත් පුද්ගලයකු නැත යන්නයි. සම්මා සම්බුදුවරයකු සමාන වන්නේ තවත් එවැනි සම්මා සම්බුදුවරයකුටම පමණයි. ලොකෙ’ යි දැක්වූයේ ඕකාස ලෝක, සත්ව ලෝක, සංඛාර ලෝක යන තුනෙන් මෙතැනදි නම් සත්ව ලෝක යන්නයි. එනම් අප ජීවත් වන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකයි.

අසමසම එකම උත්තමයාණන් වහන්සේ ලොව උපදින්නෙ අන්කිසිවකට නොව බහුජන සිත පිණිස බහුජන සැප පිණිස ලෝක සත්වයා කෙරෙහි සානුකම්පිතව මෙන්ම දෙවි මිනිසුන්ගේ යහපත, හිතය, සැපය පිණිසයි. දීපංකර බුදුන් වහන්සේ ගෙන් නියත විවරණ ලබාගෙන සම ත්‍රිංසත් පාරමි පුරා අවසන් ආත්මභාවයෙහි මහා මායා මව් බිසවගේ කුස පිළිසිඳ වෙසක් පුර පෝ දිනෙක මෙලොව එළිය දැක එකුන් තිස් වියේදී අභිනික්මන් කොට සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට වෙසක් පුර පෝ දිනෙක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ දෙව්, මිනිසුන්ගේ යහපත පිණිසයි. එසේ නොවේනම් මෙයට සාර සංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දීපංකර බුදුන් දවස සුමේධ තාපසව සිටියදී සසරින් මිදෙන්නට තිබුණි. එම අවස්ථාව ඉවත දමා සසර අපමණ දුක් විඳින්නට ඉදිරිපත් වුණෙ “කිං මේ අඤ්ඤාන වෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ, සබ්බඤ්ඤුතං පාපුනිත්වා සන්තාරෙස්සං සදෙවකං” යි වදාළ පරිදි “හුදෙකලා මා පමණක් සිවුසස් අවබෝධ කරන්නේ කුමටද? තව කොපමණ සත්වයින් මේ ගොර බිරම් සසර දුක් විඳිනවද ? එහෙයින් මා බුදු වී දෙවියන්, මිනිසුන් සහිත ලෝසතුන් සසරින් මුදවා ගනිමියි යන උදාරතර කරුණාවෙනි.

’බහුජන හිතාය’බහුජන සුඛාය’ යනුවෙන් අදහස් කරන්නේ මහජනතාවගෙන් බොහෝ දෙනකු ගේ යහපත පිණිස සහ මහජනයාගෙන් බොහෝ දෙනෙකුගේ සැප පිණිස මේ අසහාය අද්විතීය උත්තමයා උපදින බවයි. ලෝකානුකම්පාය, සත්වලෝකයාට අනුකම්පා පිණිස යි මේ අසමසම උතුමන් වහන්සේ උපදින්නේ. උන්වහන්සේ සම්මා සම්බුදු බවට පත්වී පවත්වන ධර්ම දේශනය නුවණැත්තෝ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කර ධර්මය නමැති අමෘතයෙන් සැනසී චතුරාර්ය සත්‍යය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර ගනිති. ඒ අනුවයි, සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් ඉක්බිති ඇසළ පුර පෝ දින බරණැස ඉසිපතනයේදි “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සේවි තබ්බා. යො චායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො, යොචායං අත්තකිලමතානුයොගො.” යනාදී වශයෙන් දම්සක් සතුරේ සිට සුවාසු දහසක් ධර්මස්කන්ධය පන්සාළිස් වසක් ඇතුළත දිවා රෑ නොබලා ඔබට අපට දේශනා කළේ ඒ ඔබ අප සසරින් මුදන්නයි.

ඉහත කී මේ අසහාය උත්තමයා කවරෙක්ද කියා බුදුන්වහන්සේම භික්‍ෂූන්ගෙන් ප්‍රශ්න කොට තමන්ම ඒ බව හෙළිකරනු කැමැත්තෙන් තථාගතො අරහං සම්මා සම්බුද්ධොයි වදාළසේක. දීපංකරාදි සූවිසි බුදුවරුන් වැඩිය මඟ වැඩම කළ නිසා තථාගතයයි සඳහන් වන අප බුදුරජාණන් වහන්සේ සමත්‍රිංසක් පාරමි ධර්මයන් පෙර බුදුවරුන් මෙන්ම අනන්ත අප්‍රමාණ කාලයක් වෙහෙසී සම්පූර්ණ කර සම්මාසම් බුද්ධත්වයට පත්වූයේ දෙව්, මිනිසුන්ට හිත සුව පිණිසයි. මෙ බඳු පුද්ගලයෙකු ලොව පහළ වීම අතිශය දුර්ලභ බව “දුල්ලභො පුරිසාජඤ්ඤා න සො සබ්බත්ථ ජායති, යත්ථ සො ජායති ධීරො තං කුලං සුඛමෙධති” යි වදාළ ලෙසින් තවදුරටත් දැක්වෙයි. මෙබඳු උතුමකු මේසත්ව ලෝකයෙහි උපත ලැබීම දුර්ලභයි. අතිශයින් දුර්ලභයි. අත්‍යන්තයෙන්ම දුර්ලභයි.

එබඳු උතුමකු ලොව පහළ වූ විට උන්වහන්සේගේ මහා කරුණාවට පාත්‍රවන ලොව දෙව්, මිනිස්සු ඒකාන්තයෙන්ම සැපයෙන් සැපයට පත්වෙති. “කිච්ඡො බුද්ධානං උත්පාදෝ” බුදුවරයකු උපදින්නේ ඉතා දීර්ඝ කාලයකිනි. එකම කාල පරිච්ඡේයක බුදුවරුන් දෙනමක් උපදින්නේ නැත. එහෙයින් බුදුන්වහන්සේ යනු දිගුකලකින් ලොව පහළවන එකම අසහාය උත්මයාණන් වහන්සේ ය.

”සුඛො බුද්ධානං උප්පාදො”

බුදු සසුනේ දොරටු විවර වන්නේ ප්‍රඥවන්තයන්ට පමණයි


බුදු සසුනේ දොරටු විවර වන්නේ
ප්‍රඥවන්තයන්ට පමණයි

source:

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමින්ද්‍රයන් වහන්සේ

බුදු රජාණන් වහන්සේ දෙසූ දහම මහ කරුණාව හා ප්‍රඥව මූලික කොට ගත්තකි. එහෙත් අද බොහෝ දෙනා ගමන් කරන්නේ ප්‍රඥව මූලික කරගත් එමගෙහි නොව සියලු දේ විනාශ කර හෝ සැප විඳීම ම අරමුණු කරගත් ගමනක ය. මේ නිසා වර්තමාන සමාජය මිනිස්‌ පැවැත්මට අහිතකර දූෂිත තත්ත්වයට පත්ව ඇති බව පවසන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වර්තමාන සමාජය යහපත් කළ හැක්‌කේ බුදු දහම නිවැරදිව හඳුනාගෙන තමා මුල්කොට අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින් බව අවධාරණය කරති.

රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌වාමින්ද්‍රයන් වහන්සේ පාලි, සංස්‌කෘත, සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ පඬිවරයෙකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ටාචාරය සහ සමයාන්තර අධ්‍යයනයන් පිළිබඳ විද්වතෙකි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කිසියම් කාලයකට සීමා වන්නක්‌ නෙමෙයි. සන්දිට්‌ඨිකො අකාලිකො වශයෙන් විස්‌තර වන්නේ බුදුදහම සෑම කාලයකට ම පොදු දහමක්‌ බවයි. වර්තමාන සමාජයේ මිනිසා මුහුණ දෙන ගැටලු එදා මිනිසා මුහුණ දුන් ප්‍රශ්නවලට වඩා වෙනස්‌ වෙන්න පුළුවන්. නමුත් මේ යුග දෙකේදීම හටගත්, හටගැනෙන ගැටලුවල ඇතුළාන්තය එක සමානයි. එදත් අදත් උපන් හා උපදින ගැටලු සඳහා මුල් වනුයේ ලෝභ, ද්වේශ, මෝහ, මද මාන, ඊර්ෂ්‍යා යනාදි කරුණුයි.

බුදුන් දවසටත් වඩා අද බුදු දහමේ උපයෝගීතාව වැඩිවෙලා තියෙනවා. ගෝලීය ප්‍රශ්න රැසක්‌ ඇතිවෙලා තියෙනවා. පරිසර විනාශය, යුද බිය, කාම රැල්ල, අෙන්‍යාන්‍ය අවිශ්වාසය, බොරුව වැනි දේ නිසා අද සමාජය මිනිස්‌ පැවැත්මට අහිතකර තැනක්‌ බවට පත්වෙලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලික වශයෙන් ආකාර තුනකට බෙදා දක්‌වන්න පුළුවන්. දාර්ශනික හරය, දාර්ශනික හරය හරහා ගොඩනගාගත් චර්යාව හෙවත් පිළිවෙත සහ ඒ පිළිවෙත මගින් ලබන ධර්මාවබෝධය. මේ ධර්මාවබෝධය තුළින් රැකෙන ප්‍රතිපත්තියකට බෞද්ධයා ගමන් කළ යුතු බව සිඟාලෝවාද, මංගල, පරාභව ආදී සූත්‍ර මගින් පැහැදිලි කර තිබෙනවා. ප්‍රතිපත්තිගරුක වූ මනා ශික්‌ෂණයකින් පෝෂිත ජීවිතය කිසිදිනෙක සිල් පද ඉක්‌මවන්නේ නෑ. ශාසනයේත්, පවුලේත්, ආයතනයේත්, සමාජයේත් පැවැත්ම නම් ඒ තුළ පවතින විනයානුකූල භාවයයි. බුද්ධ දේශනාව දැනුමට උගත්කමට වඩා ගෝචර වන්නේ ප්‍රඥවටයි, බුද්ධියටයි.

බුද්ධ දේශනාව තුළින් හෙළි කොට තිබෙන්නේ තමා මුල් කොට තමන් උදෙසා, තමාගේ යහපත උදෙසා රැකිය යුතු පිළිවෙත් සමුදායක්‌. නිරන්තරයෙන් අප සමාදන් වෙන පංචශීලය අරගෙන බලන්න. පංචශීලය සමාදන් වීම සඳහා අපට කවුරුවත් නියෝග කරන්නේ නෑ. නීතියක්‌ ලෙස එය රටේ ක්‍රියාත්මක වන්නක්‌ ද නෙමෙයි. සික්‌ඛා පදං සමාදියාමි වශයෙන් මම සමාදන් වෙමි යනුවෙන් අප අපටම පොරොන්දු වෙනවා. පර පණ නොනසමි යෑයි පොරොන්දු වුවත් තවකෙකුගේ ජීවිතය නැතිවන තැනට අපි පසුබිම සකස්‌ කරනව නම් පළමු සිල් පදය ආරක්‍ෂා කළා වෙන්නේ නෑ. අන්සතු දෙයක්‌ අනවසරයෙන් නොගනිමි යෑයි පොරොන්දු වුවත් පොදු පරිහරණයට ඇති භාණ්‌ඩ වුවත් පෞද්ගලික පරිහරණයට පාවිච්චි කරනව නම් එතැනදීත් සිදුවන්නේ සොරකමක්‌. යමෙක්‌ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අන් පහස විඳී නම් පහස ඉල්ලයි නම් වදනින් සිත දූෂ්‍ය කරයි නම් පවිටු මුසා බස්‌ දොඩයි නම් දුම්වැටි මත්පෙති මත්ද්‍රව්‍ය ඇසුරින් සුළු මොහොතකට මත්වෙයි නම් ඒ ජීවිතය තුළ ප්‍රතිපත්තියක්‌ රැකෙන්නේ නෑ. සීලයක්‌ රැකෙන්නෙ නෑ. මේ ප්‍රතිපත්ති රැකිය යුත්තේ අනුන්ගේ යහපත වෙනුවෙන් නෙමෙයි. තමුන්ගේ යහපත වෙනුවෙනුයි.

පුද්ගලයා තුළ ලඡ්ජාව සහ භය යන ධර්මතා තිබිය යුතුයි. ලඡ්ජා භය ඇත්තෝ පව්කරන්න බයයි. අපේ රටේ ජනප්‍රවාදයක්‌ ලෙස පවතින කාරණයක්‌ තමයි මැණිකක්‌ අතින් ගත් සුරූපී කාන්තාවකට වුව එදා ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්‌වා නිර්භයව ගමන් කිරීමේ හැකියාව තිබූ බව. මෙයින් අදහස්‌ වෙන්නේ එදා සමාජයේ වස්‌තුවට ලොල් නොබැඳි, කාමභෝගී සම්පත් නොවිඳී පිරිසක්‌ සිටි බව නෙමෙයි. ලඡ්ජා භය ඇති සමාජයක්‌ එදා තිබූ බවයි. නමුත් වර්තමාන සමාජය ඒ තත්ත්වයෙන් බොහෝ දුරට වෙනස්‌ වී තිබෙනවා. එසේ වීමට වර්තමාන ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යයත් එක හේතුවක්‌.

වර්තමාන චිත්‍රපට කලාව දෙස බලන්න. අද වගේ එදත් දෙමාපියන්ට සහ දූ දරුවන්ට එකට හිඳ නැරඹීමට නොහැකි චිත්‍රපට නොතිබුණා යෑයි කියන්න බැහැ. එහෙත් එදා සමාජගතව තිබූ ලඡ්ජා භය නිසා යම් යම් හුරුපුරුදු එම තත්ත්වයන් මඟ හැරලීමට උදව් වුණා. අද ගෙදර ආලින්දය තුළම ලඡ්ජා භය වළ දමා තිබෙනවා. විද්යුත් මාධ්‍ය අතර පවතින තරගයට හසුවෙලා අම්මල තාත්තලත් විලිබිය නැති දූෂිත සමාජයකට ඇද වැටිල තියෙනව. මව පියා නොහඳුනන, සහෝදරයා සහෝදරිය නොහඳුනන සමාජයක්‌ අද ගොඩනැඟිල තියෙනවා. රටට දැයට සමාජයට ගරු කරන පිරිසක්‌ මාධ්‍ය ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය වී ඇති යුගයක්‌ මේ. නමුත් කලාව තුළත් විවිධ කඳවුරු ගොඩනගාගෙන එකිනෙකාට විරුද්ධව කටයුතු කර අවස්‌ථාත් අපට දකින්නට තිබෙනවා.

වර්තමාන සමාජයේ ඇති දූෂිත තත්ත්වය ඉවත් කරන්නට නම් පන්සිල් සුරකින සමාජයක්‌ බිහිවෙන්න ඕන. මානව හිමිකම් සුරැකීම යනුවෙන් අද අපේ සමාජයත් වෙනත් රටවලුත් ඉතා ඉහළින් මතු කරගෙන තිබෙන සංකල්පය බටහිරින් ආ එකක්‌ විදිහටනෙ හිතන්නෙ. නමුත් එදා පංචශීලය සුරැකීම තුළින් මානව හිමිකම් සුරැකි සංස්‌කෘතියක්‌ අපට තිබුණා. ජීවිත සුරක්‍ෂිතතාව, තමන් සතු දේපළ සුරැකීම, තම ආත්ම ගෞරවය රැකීම, කීර්තිනාමය රැකීම, ලෙඩ දුක්‌වලින් ආරක්‍ෂා වීම පංචශීලය තුළ තහවුරු වෙලා තියෙනවා. බුදු දහම මනා අවබෝධයකින් අනුගමනය කරන්නාට බටහිර දවටනයක එතූ මානව හිමිකම් ප්‍රඥප්තියක්‌ ඕන නෑ. ධර්මයේ ප්‍රතිපත්ති ගරුකව හැසිරෙන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්‍ෂා කෙරෙනවා.

ලෝකයේ පහළ වූ සියලු ශාස්‌තෲවරුන් දේශනා කර තිබෙන්නේ එකම සංකල්පයක්‌ නොවෙයි. අද සමහර මතධාරීන් ආගම් දර්ශනය පටලවා ගනිමින් භයානක මගක ගමන් කරන බව පෙනෙනවා. මෙය අතිශය ෙ€දජනක තත්ත්වයක්‌. සෑම ආගමක්‌ම එක සමාන යෑයි කියන ප්‍රකාශය බුද්ධිමත් නිර්වචනයක්‌ නෙමෙයි.

මේ ගැන හොඳින් අවධානය යොමු කළොත් බුදු දහම හා වෙනත් ආගම් අතර සමාන බවක්‌ නැති බව පැහැදිලිව පෙනෙනවා. හින්දු, කතෝලික, මුස්‌ලිම් ආදී බොහෝ ආගම් මැවුම්වාදී බලවේගයන් පිළිගන්නා අතර මෙලොවට එවන ලද පණිවුඩකරුවෙක්‌ හෝ දූතයෙක්‌ මගින් ක්‍රියාත්මක වෙනවා. නමුත් බුදු දහමේ එබඳු මැවුම්කරුවෙක්‌, දූතයෙක්‌ හෝ මරණින් පසු දෙවියෙක්‌ හෝ වෙනත් බලවේගයක්‌ වෙත වගකීම් භාර දීමක්‌ නෑ. ඉහත බලවේගවලට හෝ දෙවියෙක්‌ වෙත දක්‌වනු ලබන අනුකූලතාව, භක්‌තිමත් බව අනුව සැලසෙන විමුක්‌තියක්‌ පිළිබඳ වෙනත් ආගම් තුළ විශ්වාසයක්‌ ඇතත් එවැනි ඉගැන්වීමක්‌ බුදු දහම තුළ අන්තර්ගත වී නෑ. එම නිසා සියලු ආගම් එක සමානයි කියන සංකල්පය වැරදියි.

ආගම් අතර සහනශීලී දෘෂ්ටියකින් බලන විට ආගමික ශාස්‌තෲවරුන් අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂ උත්තමයෙක්‌. උන් වහන්සේ ආගමික සහනශීලීත්වය, අන්‍ය මත ගරු කිරීම ඉතා ඉහළින් පිළිගත්තා.

මෙලොව මිනිසා සටන් වදින්නේ කාම සම්පත්තිය ලබා ගැනීම හා දෘෂ්ටිගතිකත්වය නිසා බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. රුධිරය සමග ජාතිය යන සංකල්පය ගොඩනැගෙන්නා වගේම හදවත සමග ආගම යන සංකල්පයත් ගොඩනැගෙනවා. අද බොහෝ දෙනෙක්‌ තුළ තිබෙන්නේ තමන් අදහන දෙය අන් අයද ඇදහිය යුතුයි කියන ප්‍රාථමික තර්කය. නමුත් අදහන දහමට පිරිස වැඩිකර ගැනීමට වඩා බුදු දහම අගය කරන්නේ අදහන පිරිසේ ගුණාත්මක බව වැඩි කිරීමයි. බුදුරජාණන් වහන්සේ පිරිස වටකොටගෙන මේ මගේ ශ්‍රාවකයන් යෑයි පුහු ආඩම්බරයෙන් සිටි උත්තමයෙක්‌ නෙමෙයි. ප්‍රථම ධර්මදූත සැට නම අමතා උන්වහන්සේ කළ ප්‍රකාශය එයට හොඳ උදාහරණයක්‌. තමන් පසුපස එන ලෙස නොව බොහෝ දෙනාගේ හිත සුව පිණිස ජනපද චාරිකාවේ යෙදෙන්නැයි එදා උන්වහන්සේ දේශනා කළා. යමෙක්‌ තමාවටා පිරිසක්‌ රැස්‌කර ගැනීම ආගමික සංකල්පයක්‌ නෙමෙයි. දේශපාලන ක්‍රියාවලියක්‌.

දෘෂ්ටියට නොගොස්‌ සීලවන්ත දර්ශනයක පැවතිය යුතු බව දිට්‌ඨිංච අනුපගම්ම සීලවා දස්‌සනේන සම්පන්නො ආදී වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

යමෙකුට යමක්‌ අවබෝධ කර ගැනීමට බුද්ධිමය වෑයමක්‌ අවශ්‍ය වුවත් යමක්‌ විශ්වාස කිරීමට බුද්ධිමය වෑයමක්‌ අවශ්‍ය නෑ. තමන්a වහන්සේ දේශනා කළ ධර්මය රාගයෙන් ඇලුණු, අවිද්‍යා අන්ධකාරයේ ගිලුණු සමාජය අවබෝධ කර නොගන්නා බව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ මුළු මහත් සමාජයම පියුම් විලකට සමාන කර තිබෙනවා. මෝරා, දිය මතු පිටට විත් හිරු එළිය දැකීමට අපේක්‍ෂාවෙන් සිටින පියුම් වගේම මඩෙහිම ගිලී කුණුවී යන පියුම් ද එහි තිබෙනව. අද පවතින්නේ බුද්ධි ශක්‌තිය හීන, විශ්වාස මත පදනම් වූ ආගමික ඇදහිලිවලට වඩාත් නැඹුරු වූ සමාජයක්‌. ලෙඩ රෝග සුව කිරීම, ධනවත් කිරීම ආදි ප්‍රාථමික උපක්‍රම මගින් පිරිස වැඩිකර ගැනීමේ ආගමික සංවිධාන අද බොහෝ බිහි වී ඇති බව පෙනෙනවා. එසේම ධර්මාවබෝධයට අවශ්‍ය කරන පුණ්‍ය ශක්‌තියෙන් හෙබි පිරිසක්‌ ද මේ සමාජයේ සිටිනවා.

සියලු දේ විනාශ කර හෝ තමුන් සැපවත් වී සිටීමටයි අද බොහෝ දෙනෙක්‌ කල්පනා කරන්නේ. නමුත් මරණයෙන් පසු තමන් යළි යළිත් උපදින්නේ තමන් ඒ විනාශ කළ ලෝකයේම බව ඔවුන් කල්පනා කරන්නේ නෑ. මෙය ඉතාමත් ෙ€දනීය තත්ත්වයක්‌. අප යහපත් ලොවක්‌ බිහි කළොත් මරණින් පසු අප යළි උපදින්නේ නම් උපත ලබන්නේ ද යහපත් ලොවක බව කල්පනා කළ යුතුයි. ඒ නිසා මේ ලෝකය රැක ගැනීමට අප සියලු දෙනාම සතු මනා වගකීමක්‌ තිබෙනවා. පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා අප කටයුතු කළ යුත්තේ ඒ නිසයි.

මේ ලෝකයත් එහි වෙසෙන මිනිසුනුත් ආරක්‍ෂා වෙන්නේ පංචශීල ප්‍රතිපදාවෙනුත්, ඔවුනොවුන් අතර සුහදව කටයුතු කිරීමෙන් හා කරුණාව, දයාව, මෛත්‍රිය අනුකම්පාව ආදී ගුණදහම් වර්ධනය කිරීමත් තුළිනුයි.

වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බුදු දහමේ ඉතා පැහැදිලිව දක්‌වා ඇතත් වර්තමාන ලෝකය එම ප්‍රතිපත්තියෙන් වේගයෙන් බැහැර වෙමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඇතැම් බලවත් රටවල් අද අතීතයේ සිදුවූ වැරදිවලට පළිගැනීමට පවා පෙළඹී සිටිනවා. රට රටවල් අවුල් කරනවා. බළලුන් ලවා කොස්‌ ඇට බාවනවා වැනි ක්‍රියාවන්a කරනවා. බල ලෝභය නිසා සිදුකරන ක්‍රියාවන් හරහා ලෝභ, ද්වේශ, මෝහාදී අකුසලයන් සිදුකරනවා. මේ ලෝකය කියන්නේ මිනිසාට පමණක්‌ නොව ගස්‌වැල්, සතා සිවුපාවාට ද අයිති දෙයක්‌. ඒ සියල්ලන්ගේම පැවැත්ම තහවුරු කිරීම බුදුදහමේ අඩංගුයි. බුදුදහමේ අඩංගු එම ධර්ම කරුණු නිවැරදිව හඳුනාගෙන, තමා මුල් කොට අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින් අපේ රටේ යහපත් සමාජයක්‌ ඇති කරන්න පුළුවන්. ඒ සඳහා බුදු සසුනේ දොරටු විවර වන්නේ ප්‍රඥවන්ත යහපත් සිත් ඇත්තන්ට පමණයි.

* සාකච්ඡා කළේ
පාලිත සේනානායක

සත්ත්වයා සසරට බැඳ තබන තණ්‌හාව

සත්ත්වයා සසරට බැඳ තබන තණ්‌හාව
source:
හේතුඵල සම්බන්ධයට බුදුන්වහන්සේ දේශනා කළ ධර්මය තුළ විශේෂ අවධානයක්‌ යොමු කර ඇත්තේ ය. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනා විසින් සිදු කරන නොයෙකුත් සියලුම අපරාධ ගැන අවධානය යොමු කරන කල්හි පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ මෙම ධර්මය බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා අමතක කර ඇති අමනෝඥ ස්‌වභාවයයි. එසේ නොවන්නේ නම් ඇති අනවබෝධයයි. “ඉමස්‌මිං සති ඉදංහෝති ඉමස්‌ස උප්පාදා ඉදං උප්පඡ්ජති” ” මේ මේ දේ ඇති විට මේ දේ ඇත. මේ මේ දේ උපදින විට මේ මේ දේ උපදියි” යනුවෙන් පවිච්ච සමුප්පාදය හෙවත් හේතුඵලවාදය විස්‌තර කරන්නේ තාත්වික, තාර්කික, ආනුභූතික යථාර්ථයක්‌ ලෙසිනි. ශෛලීගත වාක්‍යයක්‌ ලෙසට “අවිඡ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ ” ආදී පිළිවෙළට එම පටිච්ච සමුප්පාද ධර්මය ද්වාදස අංගයක්‌ ඇතුළත් වී විස්‌තර වෙයි. මෙම ධර්මය බුදුරජාණන් වහන්සේගේ අභීත ප්‍රකාශයක්‌ බව සංයුක්‌ත නිකායේ දසබල සූත්‍රයෙහි සඳහන්ය.

භවය යනු පැවැත්ම යනුවෙන් වාච්‍යාර්ථයක්‌ සැපයේ. එම පැවැත්ම සසර පුරා එන ප්‍රවාහ සංසිද්ධියකි. මුල් බුදු සමයේ ද ඒ බව පිළිගැණුන ධර්මතාවකි. පෙර සඳහන් කළ ලෙසට එය අනුභූතිවාදය පදනම් කරගත් හේතුප්‍රත්‍ය සමුදායක්‌ චක්‍රාකාරව විස්‌තර කරන්නේ ය. විශ්වයේ පැවැත්ම සිදුවන්නේ ආකර්ෂණය මතය. වස්‌තූන්ගේ (අනෙක්‌ වස්‌තු) චලනය සිදුවන්නේ එම ආකර්ෂණය හා ඇලීම නිසා ය. තණ්‌හාවද මෙම ආකාරයට සමගාමී න්‍යායකින් සිදුවෙයි. එදින බුදුහිමි බුද්ධත්වයට පත්ව මුල් සතියේ බෝ මැඬ වැඩ සිට පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම ලෙසට මෙනෙහි කළේ එය සත්‍ය ප්‍රබල පැහැදිලි කිරීමක්‌, සොයා ගැනීමක්‌ (වටහා ගැනීමක්‌) නිසාය.

පටිච්ච සමුප්පාදයට ඇතුළත් අංග දොළොස කවර කරුණකින් ආරම්භ කළ ද එම සමගාමී එකිනෙකට බැඳුණු කරුණට ඉදිරියෙන් පසු පසින් සිටින කරුණ සමග සහසම්බන්ධතාව අඛණ්‌ඩව පවතී. අප සඳහන් කරන තණ්‌හාවට ඉදිරියෙන් ඇත්තේ උපාදානය හෙවත් අල්ලා ගැනීමයි. නැතහොත් බැදීමයි. තණ්‌හාව නිසා අප, සත්ත්වයා නිරන්තරයෙන් ජීවිත ගමනට බැඳෙයි. තණ්‌හාව පසුපසින් ඇත්තේ වේදනා හෙවත් විඳීමයි. සුඛ – දුක්‌ඛ විඳීමයි. විඳීම නිසා එයට තණ්‌හාවත්, බැඳීමත් ඇතිවේ. එවිට එම බැඳීම හේතුවෙන් දැඩිව අල්ලා ගැනීම ඇති වේ. (උපාදානය) තණ්‌හාව යන වදනට පර්යාය වදන් ලෙස ආශාව, තෘෂ්ණාව, ඇලීම, ප්‍රේaමය, ලෝභය ඉදිරිපත් වෙයි. ස්‌වභාවික වශයෙන් ම, සහජයෙන්ම අප සිත්, සන්තානය නැඹුරුවන්නේ යමකට ආශාව දක්‌වා තණ්‌හාවට ය. එම තණ්‌හාව සසර පුරා එන්නකි. තරහව, ක්‍රෝධය, ආශාව, සතුට කුඩා දරුවෙකුටවත් විශේෂයෙන් කියා දිය යුතු නැත. ඉගැන්වීමක්‌ කළ යුතු නොවන්නේ ය. දරුවා යමක්‌ ඉල්ලා අඬන්නේ, යම් භාණ්‌ඩයක්‌ විසිකරන්නේ, ආශාවෙන් අල්ලා බදාගන්නේ කාගේවත් ඉගැන්වීමකට නොවේ. සසර පුරුදු ලෙස අවිද්‍යාව හේතුවෙනි. මෙම ලක්‍ෂණය කාටත් පොදු ගුණාංගයකි.

තණ්‌හාව ලෝක සත්ත්වයාට පොදු ධර්මතාවකි. සත්ත්වයා පංචස්‌ඛන්ධයේ නිර්මිතයයි. එම නිර්මිතය නාම, රූප දෙකරුණින් සමන්විතය. පංචස්‌ඛන්ධය සතු සළායතන ඇස, කන, නාසය, දිව, කය, මනස යන අංග හයෙන් යුක්‌තය. මේවාට ලැබෙන අරමුණු ප්‍රියමනාප නම් තණ්‌හාව, ආසාව, ඇල්ම, බැඳීම, ප්‍රේමය ඇතිවන්නේ ය. එම හේතුව නිසා සසර බැඳේ. තිරිසන් සත්ත්වයා ද ආහාරයට, නින්දට, මෛථුනයට තණ්‌හාවක්‌ ආසාවක්‌ තිබේ. එහෙත් මිනිස්‌ සත්ත්වයාට ඊට වඩා දියුණු මට්‌ටමකින් ප්‍රබලව පවතී. ඇස ප්‍රිය කරන වස්‌තුවලට ඔහු බැඳෙන්නේ ය. මධුර ස්‌වර, කවි, ගීත, සංගීතය ශ්‍රවනයට ඇස රුචි කරයි. මිහිරි වූ සුවඳ ආඝ්‍රානයට නාසය ප්‍රිය වෙයි. එලෙසම රසවත් වූ විවිධ ආහාර වර්ග සොයා යයි. සුවපහසු දේවල්හි පහස ශරීරයට ලබා දෙන්නට වෙහෙසෙයි. මේ සියල්ලේම එකතුව මනසේ ක්‍රියාකාරිත්වය ඇතිවේ. පංචස්‌ඛන්ධයට ලැබෙන මෙම සියලුම විඳීම් වේදනා ලෙසට පටිච්ච සමුප්පාද විස්‌තර වන අවස්‌ථාවල දැක්‌වේ. ඉන් විස්‌තර වන සුඛ වේදනාවටම (විඳීමට) ඇලුම් කිරීම තණ්‌හාවයි. එය මිනිස්‌ ගතිලක්‍ෂණයයි. සංයුක්‌ත නිකායට ඇතුළත් වන විභංග සූත්‍රයෙහි තණ්‌හාව විග්‍රහ කරන අවස්‌ථාවේදී ඉහත සඳහන් පැහැදිලි කිරීම දක්‌වා ඇත්තේ මෙලෙසය. “කතමෙ භික්‌ඛවෙ තණ්‌හා ජයිමෙ භික්‌ඛවේ තණ්‌හා කාය රූප තණ්‌හා, සද්දකණ්‌හා” ආදී වශයෙනි. මහණෙනි, තණ්‌හාව යනු කවරේද? මහණෙනි, රූප තණ්‌හාව, ශබ්ද තණ්‌හාව, ගන්ධ තණ්‌හාව, රස තණ්‌හාව, ස්‌පුෂ්ටව්‍ය තණ්‌හාව, ධර්ම තණ්‌හාවයි. එය ෂඩ් ඉන්ද්‍රියයන්ට ගොඳුරු වන අරමුණු ඔස්‌සේ පහළ වන බැඳෙන තණ්‌හාවයි.

තණ්‌හාවේ ලක්‍ෂණ අනුව ත්‍රිවිධාකාර යෑයි සඳහන් වෙයි. එය කාම තණ්‌හාව, භව තණ්‌හාව, විභව තණ්‌හාව යනුවෙන් ගැඹුරු බෙදීමක්‌ ලෙස නම් කර තිබේ. කාම තණ්‌හාව යනු ඉතා සරලව ගතහොත් පස්‌කම් සැපතට ලොල්ව මෙලොව ජීවත්වීමට ඇති කැමැත්ත වේ. අවිද්‍යාව හෙවත් නොදැනීම, අනවබෝධය නිසා මේවාට ලොල්ව ජීවත් වන බව බුදුහිමි පවසන සේක. සමාජයේ පුද්ගලයන් කරන විවිධ ක්‍රියාකාරකම් දෙස බලන විට එම කරුණ පැහැදිලි වන්නේය.

භව තණ්‌හා යනු ශාස්‌වත දෘෂ්ටි හෙවත් ධ්‍යාන ලාභීව දිව්‍ය ලෝකවල සැප විඳීම සුඛයක්‌ යෑයි අදහති. එබඳු දිව්‍යලෝක සය නම් චාතුම්මහාරාජිකය, යාමය, තුසිතය, පරනිර්මිතවසවර්ති, හාවතිංසය, නිර්මාණරතී වන්නේය. මේවා කාම සුගතීන්ද කාම දුගතීන්ද ලෙස තිබේ. දුගති නම් තිරිසන්, ප්‍රේත ඈ ලෝකයන් ය.

විභව තණ්‌හා යනු උච්ඡේද දෘෂ්ටිගතව විසීමය. එබඳු අය හොඳ නරක, කුසල් අකුසල්, පින්පව් කිසිවක්‌ විශ්වාස නොකරති. නොපිළි ගනිති. එනිසා කෙසේ හෝ හොඳින් – නරකින් ධනය උපයා සුඛ විහරණය විඳ ජීවත්වීම යෝග්‍ය යෑයි එබඳු දෘෂ්ටිගත අය එකහෙළා විශ්වාස කරති. එසේ මැ ජීවත් වෙති.

මෙම විස්‌තර අනුව සලකා බලන විට නූතන ලෝකයේ දියුණුව හැටියට සිතන දර්ශකය ගෙන විග්‍රහයක යෙදෙන විට මිනිස්‌ සිතක තණ්‌හාව නම් අසීමිතය. එබැවින් මිනිස්‌ ලොව සියලුම නිමැවුම් තණ්‌හාව නිසා නිෂ්පාදනය වූ දේවල් ය. ගුවන් විදුලිය, දුරකථනය, රූපවාහිනිය, පරිගණකය, විදුලිබලය, යාන වාහන, වායු සමන යන්ත්‍ර, ගෙවල් දොරවල්, ගුවන් නැව්, නැව් මේවා යහපත් නිෂ්පාදන වුවත් පරිභෝජනයේ සීමාවක්‌ දක්‌නට නැත. තව තවත් සොයා මිනිසා ගමන් කරයි. ඒ සෑහීමකට පත් නොවන තණ්‌හාව නිසාය. තණ්‌හාවේ යථා ස්‌වරූපය එයයි. මෙම ලොල්වීම අවසානයේ සැපයක්‌ නොව දුකක්‌ ඇති කරවයි.

විද්Hqත් උපකරණ, ඉලෙක්‌ට්‍රොනික උපකරණ, දේශදේශාන්තර බල අරගල, මතභේද, පිල්බෙදීම, යුද්ධ ආදී සියල්ල තණ්‌හාව නිසා පැන නැඟුණු ඒවාය. මේ තණ්‌හාව ඇතැම් විට මානසික උමතුවක ස්‌වරූපයක්‌ හැටියට ද ඇතැම් අවස්‌ථාවල විද්‍යමාන වෙයි. තණ්‌හාවෙන් උපාදානයට පත්ව අවසාන ප්‍රතිඵලය දුකක්‌ය.

තණ්‌හාවේ ගති ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ කදිමට විවරණය වන සරල එහෙත් ගැඹුරු දර්ශනයක්‌ ඇති කෙටි කථාවක්‌ රුසියන් ජාතික ලියෝ ටොල්ස්‌ටෝයි නම් මහා ලේඛකයාගේ නිර්මාණ අතර හමුවෙයි. විශාල ඉඩම් ප්‍රමාණයක්‌ සතු වූ ඉඩම් හිමියෙක්‌ එම ඉඩම් දුගී ජනයාට බෙදා දෙන්නට සැරැසෙයි. එක්‌ එක්‌ තැනැත්තාට ලැබෙන ඉඩම් ප්‍රමාණය ඔහු විසින් නියම කරගත යුත්තේ උදයේ හයේ සිට සවස හය වනතුරු ඔහු ඇවිදගොස්‌ සලකුණු කරගන්නා ප්‍රමාණයයි. එක්‌ මනුෂ්‍යයෙක්‌ එලෙස විශාල ඉඩමක්‌ අත් කරගන්නා අපේක්‍ෂාවෙන් (තණ්‌හාවෙන්) උදේ සිට සවස්‌වන තුරු ඉඩම වටා දුවගොස්‌ අවසන් වේලාව ළගා වෙද්දී වෙහෙස දරාගත නොහී බිම මැරී වැටුණේය. අවසාන ඔහුට හිමි වූයේ කාටත් උරුම හතර රියනක බිම් ප්‍රමාණය පමණි. තණ්‌හාවේ ස්‌වභාවයන් අවසන් ප්‍රතිඵලයක්‌ එලෙස අත් විඳින්නට සිදු වන්නේය.

අපේ භවගාමී ගමනට මෙම ආත්ම භාවයෙන් පසු, නැවත භවයක්‌ මිය යාමෙන් පසු ලැබෙන්නේය. මෙය නොකඩවා සිදුවන්නකි. එය භවගාමී ලෙසට නම් කර තිබෙන්නේ ඒ හේතුවෙනි. මෙම ගමනට හේතුව නම් තණ්‌හාවයි. සත්ත්වයා සසරට බැඳෙන හුයක්‌ ලෙසට මෙම තණ්‌හාව පැහැදිලි කරන්නේ ඒ නිසාය. තණ්‌හාව අපේ ආත්මයෙන් දුරුවන තුරු සසර ගමන නොනවතී. තණ්‌හාව ප්‍රහානය කිරීම, දුරු කිරීම, නැති කිරීම පිළිබඳ බොහෝ පැහැදිලි කිරීම් සංයුක්‌ත නිකාය ඉගැන්වීම් කරන්නේය. ” එවං එස්‌ස භික්‌ඛවේ සුතවා” ආදී පිළිවෙළට මහණෙනි, මෙසේ දක්‌නා, ඇසූපිරූ තැන් ඇති අරිය සච්චතෙමේ ඇසෙහිත් කළකිරෙයි. මෙලෙස පසිඳුරන්ට ගොඳුරු වන දේ පිළිබඳව අවබෝධය ඇතිවෙන් මැ ඔහු තෘෂ්ණාවෙන් (තණ්‌හාවෙන්) ඈත්වීමට සමත් වෙයි.

“තණ්‌හාය ජායති සොකො – තණ්‌හාය ජායති භවං”

“නත්ථි සෝකෝ කුතො භයංතණ්‌හාවෙන් දුරු වු තැනැත්තාට කවර නම් ශෝකයක්‌ ද? භයක්‌ද? යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ එබැවිනි. මෙම පැහැදිලි කිරීම් අනුව සත්ත්වයා සසර බැඳ තබන තණ්‌හාවේ යථා ස්‌වරූපය හැකි තරමින් හෝ අවබෝධ කරගත හොත් හිතේ සැනසිල්ල උදාවන්නේ ය. එය සසර ගමනේ දී වඩ වඩාත් හුරුකරන්නේ නම් නිවන් අවබෝධයට හේතුවන්නේය.

ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි

මෙත් බෝසතුන් විවරණ ලැබූ ඉල් පෝය

පෝදා සිතුවිලි
මෙත් බෝසතුන් විවරණ ලැබූ  ඉල් පෝය
source:
“ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක්‌ මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස්‌ පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, සැරියුත් මාහිමියන්ගේ පිරිනිවන් පෑම, ශ්‍රී ලංකාවට දකුණු අකු ධාතුව සමග ධාතූන් වහන්සේලා වැඩමවීම මේ අතර වැදගත්ය.

වස්‌සාන සමය හෙවත් වස්‌ සාර මාසය ඈත අතීතයේ සිට බෞද්ධයා බොහෝ පිංකම් කරන කාලයකි. ප්‍රථම තුන් මාසයේදී පුංචි පුංචි පිංකම් කොට චීවර මාසයේදී ඉතා උසස්‌ ලෙස සිවුරු පූජා කිරීමේ කඨින මහා පිංකම සිදු කරයි. කඨිනාස්‌තරණය විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්‌වක පොහොය දිනට යෙදේ.

පළමුවෙන් සම්බුදු සසුනේ පැවිදි වූ හැට දෙනා වහන්සේ ඇමතූ බුදුරාජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම පිටත් කර හැරියේ සම්බුද්ධත්වයට පත්වී එළැඹෙන පළමු ඉල් පුර පසළොස්‌වක පෝදාය.

එදා මගධයේ ගංගා නම් ගංගා නිම්නයෙන් පිටත්වූ සම්බුදු සසුනේ ධර්ම දූත තෙරවරු අද වන විට ගම් නියම්ගම් පසුකොට ලෝකයේ බොහෝ රටවල් සිසාරා ඉතා දියුණු ලන්ඩනයේ තේම්ස්‌ නදී නිම්නය දක්‌වා වැඩම කරවීමට සමත් වූහ.

ඈත දුෂ්කර ගම්මානවලට වැඩම කළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දේශගුණයෙන් සිව්පසයෙන් වන සතුන්ගෙන් දුර්දාන්ත මිනිසුන්ගෙන් පැමිණි බොහෝ දුක්‌ගැහැට මැද බෞද්ධ ආරාම ඇති කළහ. එම ආරාමවල ප්‍රධාන විහාරාංගය වූයේ බණ මඩුවයි. සදාචාරසම්පන්න ඉතා හොඳ සිරිත් විරිත්වලින් යුක්‌ත ජනතාවක්‌ ඇති කිරීමට මෙම බණ මඩුව මහෝපකාරී විය.

මෛත්‍රි බෝසතුන් දෙව් ලොවින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සංකස්‌ස නුවර සිරිවඩ්ඩ නම් කෙළෙඹියාට පුත්ව ඉපදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් පැහැදී පැවිදිව නියත විවරණ ලබාගත්හ.

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස· මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක්‌ ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමිZයි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුරපසළොස්‌වක්‌ පොහෝදා පිරිවන් පෑහ.

ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල් සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමණ සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරාජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.

“ඉල්” යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල – සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක්‌ මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස්‌ පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත සේවය, සැරියුත් මාහිමියන්ගේ පිරිනිවන් පෑම, ශ්‍රී ලංකාවට දකුණු අකු ධාතුව සමග ධාතූන් වහන්සේලා වැඩමවීම මේ අතර වැදගත්ය.

වස්‌සාන සමය හෙවත් වස්‌ සාර මාසය ඈත අතීතයේ සිට බෞද්ධයා බොහෝ පිංකම් කරන කාලයකි. ප්‍රථම තුන් මාසයේදී පුංචි පුංචි පිංකම් කොට චීවර මාසයේදී ඉතා උසස්‌ ලෙස සිවුරු පූජා කිරීමේ කඨින මහා පිංකම සිදු කරයි. කඨිනාස්‌තරණය විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්‌වක පොහොය දිනට යෙදේ.

පළමුවෙන් සම්බුදු සසුනේ පැවිදි වූ හැට දෙනා වහන්සේ ඇමතූ බුදුරාජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දූත කණ්‌ඩායම පිටත් කර හැරියේ සම්බුද්ධත්වයට පත්වී එළැඹෙන පළමු ඉල් පුර පසළොස්‌වක පෝදාය.

එදා මගධයේ ගංගා නම් ගංගා නිම්නයෙන් පිටත්වූ සම්බුදු සසුනේ ධර්ම දූත තෙරවරු අද වන විට ගම් නියම්ගම් පසුකොට ලෝකයේ බොහෝ රටවල් සිසාරා ඉතා දියුණු ලන්ඩනයේ තේම්ස්‌ නදී නිම්නය දක්‌වා වැඩම කරවීමට සමත් වූහ.

ඈත දුෂ්කර ගම්මානවලට වැඩම කළ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ දේශගුණයෙන් සිව්පසයෙන් වන සතුන්ගෙන් දුර්දාන්ත මිනිසුන්ගෙන් පැමිණි බොහෝ දුක්‌ගැහැට මැද බෞද්ධ ආරාම ඇති කළහ. එම ආරාමවල ප්‍රධාන විහාරාංගය වූයේ බණ මඩුවයි. සදාචාරසම්පන්න ඉතා හොඳ සිරිත් විරිත්වලින් යුක්‌ත ජනතාවක්‌ ඇති කිරීමට මෙම බණ මඩුව මහෝපකාරී විය.

මෛත්‍රි බෝසතුන් දෙව් ලොවින් චුතව අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සංකස්‌ස නුවර සිරිවඩ්ඩ නම් කෙළෙඹියාට පුත්ව ඉපදී දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීමෙන් පැහැදී පැවිදිව නියත විවරණ ලබාගත්හ.

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස· මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක්‌ ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමිZයි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුරපසළොස්‌වක්‌ පොහෝදා පිරිවන් පෑහ.

ලංකාවේ බුදු සසුන පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල් සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමණ සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරාජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමග ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.

විෙද්‍යාaදය පිරිවෙනේ
ජ්‍යෙෂ්ඨ ආචාර්ය
ගාලු – බස්‌නාහිර දෙදිසාවේ
අධිකරණ සංඝ නායක ශාස්‌ත්‍රපති
අකුරටියේ විමලවංස නාහිමි

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!