//

මිහින්තලය

This tag is associated with 1 post

මිහින්තලය

source:

සටහන සහ ඡායාරූප
ජනක වෙත්තසිංහ

මෙම අතිසුන්දර වූ පුදබිමේ පෙනුම තවතවත් වර්ධනය කරවන ආරාධනාගල ගැන ද යමක් කිව යුතුව තිබේ. බොහෝ අය මෙහි ඉතිහාසය දනිතත් මොහොතින් අමතක කරන සෙයකි. බහුතරයක් සිතුවම් ශිල්පීන් මහින්දාගමනයේදී අඳින්නේ උන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ආරාධනා ගලට වැඩිය අයුරු දක්වන සිතුවම් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් සුමන සාමණේරයන් දෙවි බඹුන්ට ධර්මය අසන්නට පැමිණෙන්නැයි ‘ධර්ම ඝෝෂා’ කළේ මේ ගල මත සිටය. ඒ නිසා එය ‘ආරාධනා‘ ගල වශයෙන් හඳුන්වයි


මහා සෑය

තුරුපත් අග කුසුම් පිපී සොබා සිරිය පිරී ඉතිරෙන තුරුලතාදියේ මල් දරා මිහි මව ගැබ් බරින් සැහැල්ලු වී සැනසුම් සුසුම් හෙලන සමය උදා වී ඇත. ඒ තරමටම සොබාදහම රමණීය වන මාසය පොසොන් මාසයයි.


රන් වැටෙන් වටකර ඇත්තේ චන්ද්‍රකාන්ති පාෂාණය වේ. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ මෙතනට ය.

සංස්කෘත භාෂාවෙන් ‘පසාවතී’ නම් වදන මව් බසට පෙරලෙන්නේ පොසොන් නමිනි. එහි අරුත නම් ගස් වැල්හි මල් ද ඵල ද හටගන්නා මාසය පොසොන් මාසය බවයි.

සොබාදහම මේ තරමට කාරුණික වූ, සුන්දර වූ සමයේ ලාංකේය භූමිය ආලෝකවත් කරමින් පොසොන් සඳ පායා ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ තැනදී එදා උදාවූ පොසොන් පුන් පෝය සඳට වෙන දා නොමැති අසිරියක් එක් වූයේය. සියලු රෝග නිවාරණය කරලමින් ධර්මාලෝකය නම් දිව ඔසුවෙන් ලාංකේය දේහය සුවපත් කිරීමට සද්ධර්ම සංදේශය රැගෙන ආවේ එදාය.

දෘෂ්ඨි චින්තනයෙන් මිදී ලක් මාතාව සිල් ගත්තේ එදා සිටය උතුරු සළුව සෙමෙන් සැළෙනාවිට හමා යන සිල් සුවඳ මේ දේශයට දැනෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. බුද්ධ වර්ෂ 236 දී පෑවු පොසොන් සඳ කිරණේ උණුසුම අප ජීවත් කරවීමට අවශ්‍ය ශරීර උෂ්ණත්වයට සමවිය. බුදුදහම පවතින තාක් කල් ඒ උණුසම අප අධ්‍යාත්මය සුවපත් කරවනු ඇත. ඒ උණුසුම නැතිවූ දුකට අප මළවුන් හා සමවනු ඇත.

උස් වූ මිස්සක පව්ව, මිහි මව සිරුරේ මෛත්‍රියේ කරුණාවේ කිරිඑරවනා ළය මඬලමය. මේ ලාංකේය බිමේ අති සුන්දරම සොබාදම් සිරියේ අධ්‍යාත්මික සුවභූමිය මිස්සක පව්වයි. මේ බිමේ උස් කඳු මුහුනක් මුදුනක් පාසා ස්තූපයන් නිම වන්නේ ඒ නිසාය.

මේ කාලයේ සම්බුද්ධත්වය ලද සතර මහා බුදුවරයන් වහන්සේලා ගේ පාද ස්පර්ශයේ බලයෙන් මිස්සක පව්වේ නිශ්චිත එක් තැනක් සෞම්‍ය සඳ එළියට කාන්තිමත්ව බැබළෙයි. සතර වරක් සතර බුදුවරුන්ගේ පහසේ බලයෙන් පිරිමැදි සුමුදු වු මලසුනක් වන් ඒ පාෂාණය මතට මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නේ සෘද්ධියෙනි. පස්වෙනි වරටත් පූජනීයත්වයට පත්වන මෙතැන හඳුන්වන්නේ ‘චන්ද්‍ර කාන්ත පාෂාණය’ වශයෙනි. ‘සඳ රැස් පතිත වී දිදුලනා බිම ‘ යනු එහි අරුතයි.


කණ්ඨක චෛත්‍ය

මිහින්තලා මුදුන් මළුවේ රන්වැටින් වට කරන සුරක්‍ෂිත කර ඇති චන්ද්‍ර කාන්තාන පාෂාණය අසල අම්බස්ථල සෑය නැතිනම් සේල චෛත්‍යය ඉදි කර ඇත. මෙය සොළොස්මස්ථානයන්ගෙන් එකක් වීම සමස්ත බෞද්ධ ජනතාවටද විශේෂිතය.

අනුරාධපුර රාජාධානියේ වාසය කළ රජවරුන්ගේ රාජධානියට සැතැපුම් 8 පමණ නැගෙනහිර පිහිටි මේ රමණීය වූ භූමිය එදා භාවිතා කර තිබුණේ සැනකෙළි උද්‍යානයක් ලෙසය. මිහින්තලයේ ඇති අම්බස්ථල චෛත්‍යත් මහාසෑයත් එසේම මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතු නිදන් කර සදා ඇති සෑයත් කුමක්දැයි බොහෝ බැතිමතුන්ට ගැටළුවක් මතුවී ඇත.


ආරාධනාගල වෙනත් පැත්තකින් දිස්වන අයුරු

මෙය නිරාකරණය කර ගැනීමට මා තෝරාගන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාණයන්ගේ පුරා විදු පර්යේස නම් කෘතියයි. කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 164-192) අම්බස්ථලයේ චේතඝරයක් ඉදිකරවූ බව මහාවංශයෙන් සඳහන් වන බව පරණවිතාන පවසයි. එයම ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 253 – 266 ) දී අලුත්වැඩියා කරවු බව මහාවංසයේ 36 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. මේ දෙකින්ම සඳහන් වන්නේ ථූපඝරය ගැනය. මේ අනුව බලන කළ කනිට්ඨතිස්ස රජතුමා විසින් තනවන ලද්දක් ගොඨාභය රජතුමා විසින් අලුත්වැඩියා කරවන ලද්දේත් ස්තූපයේ වටදාගෙය.

මිහින්තලේ අම්බස්ථල දාගැබ යැයි අද හැඳින්වෙන දාගැබ ගලින් කරවන ලද්දකි. කූටකණ්ණාතිස්ස රජතුමා (ක්‍රි.පූ. 41-19) චේතියපබ්බතයෙහි සෙල්මුව දාගැබක් කරවූ බව මහාවංසයේ කියැවේ. මිහින්තලේ වටදාගෙයෙහි ස්තූපය කූටකණ්ණකතිස්ස රජ ඉදිකරවු ශිලාචේතිය බැවින් එය අද විශ්වාස කරන පරිදි මිහිඳු මා හිමියන්ගේ භෂ්මාවශේස නිදන් කිරීමට උත්තිය රජ දවස ඉදි කරන ලද සෑය විය නොහැකිය. පර්යේෂණ කිරීමෙන් පසු මහාචාර්යවරයා එසේ මතයක් ඉදිරිපත් කරයි.


අම්බස්ථල චෛත්‍යය

අම්බස්ථල චෛත්‍යය ඉහලින් ඇති ‘ මහා සෑය’ හෙවත් ‘මහාථූප’ මහා දාඨිය මහා නාග රජ ඉදිකරවූ බව කියැවෙයි. බුදුන්වහන්සේ ඌර්ණරෝම ධාතුව මහ සෑයේ නිධන් කර ඇති බවට ජනමතයක් පවතියි.

මිහින්තලේ ඇති තවත් අසිරිමත් නිර්මාණයකි. කණ්ටක චෛත්‍යය මෙය තහවුරු කර ඇත්තේ සෙනරත් පරණවිතානයන්ගේ අධීක්‍ෂණය යටතේ 1935 වසරේදීය. ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි.පූ. 119-109) එයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශයේ සඳහන්ව ඇත. මුල් ස්තූපය ක්‍රි.පූ. පළමුවැනි සියවසට පෙර ඉදි කරන ලද්දක් බවත් ඒ අනුව එය දිවයිනේ ප්‍රථම ආගමික සිද්ධස්ථාන කීපයෙන් එකක් බව පෙනෙනා බව පරණවිතාන පවසයි. කණ්ටක චෛත්‍යය සතර වාහල්කඩ අලංකාර කැටයමින් ඔපවත් කර ඇත.

පියගැටපෙළ නැඟ ගිය පසු හමුවන කණ්ටක චෛත්‍ය සමීපයේ ස්වභාවධර්මය විසින් විවිධ හැඩ තලයන් අනුව නිර්මාණය කළ ලෙන් සමූහයක් දැක ගැනීමට ලැබේ. මේවා කැටයම් ලකුණින් යුක්තය. බ්‍රාහ්මී අක්‍ෂරයෙන් කෙටූ ලිපි සහිත ගල්ලෙන් ගණනාවක් එය සමීපයේ ඇත. ඒවා සමහරක් ක්‍රි.පූර්ව තුන්වැනි සියවසට අයත්ය. මහාවංශයට අනුව ‘මේ අටසැටලෙන්’ සැකසෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේය. (ක්‍රි.පූ. 250 – 210 ) පොසොන් මාසයෙන් පසු එළඹුණූ වස්සාන සමය ගත කිරීමට ඇසළ මාසයේදි ලෙන් සමූහය පූජා කරන ලදී. මේ මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසට සත්මහල් ප්‍රාසාද තනාදීමට වුව රජතුමා එදා පසුබට නොවන බව සහතිකය. බුදු දහම අනුව එය ප්‍රතිපත්තියෙන් පුදමින් මේ මහා රහතන් වහන්සේ අවවාදයට වඩා ආදර්ශය උතුම්කොට සළකමින් තම වස්කාලය තමන්ට ඊට පසුවත් ආවාස ගෘහලෙස තොරා සැහැල්ලු අල්පේච්ඡ දිවියක යථාර්ථය ලොවට කියාපෑමකි.

මෙම අතිසුන්දර වූ පුදබිමේ පෙනුම තවතවත් වර්ධනය කරවන ආරාධනාගල ගැන ද යමක් කිව යුතුව තිබේ. බොහෝ අය මෙහි ඉතිහාසය දනිතත් මොහොතින් අමතක කරන සෙයකි. බහුතරයක් සිතුවම් ශිල්පීන් මහින්දාගමනයේදී අඳින්නේ උන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ආරාධනා ගලට වැඩිය අයුරු දක්වන සිතුවම් ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් සුමන සාමණේරයන් දෙවි බඹුන්ට ධර්මය අසන්නට පැමිණෙන්නැයි ‘ධර්ම ඝෝෂා’ කළේ මේ ගල මත සිටය. ඒ නිසා එය ‘ආරාධනා ‘ ගල වශයෙන් හඳුන්වයි.


මිහිඳු ගුහාව

මිහිඳු මහ රහතන් වහන්සේ වසර අසූවක් (80) ආයු වළඳා ඇත. දිවි ඉම තෙක් උන්වහන්සේ වැඩ වාසය කළ ගුහය ‘මිහිඳු ගුහාව‘ ලෙස හඳුන්වයි. මුළු ලක්දිව් තලයම සඳහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කළා වු බෞද්ධ සංස්කෘතියක, ශිෂ්ඨාචාරයක ගමන් මගේ මහා නියමුවාණන් වූ මහින්ද මහ රහතන් වහන්සේ රළු ගලක් යට අපහසුතා මැද අනාරක්‍ෂිතව වාසය කරන්නට ඇද්දැයි එතැනට ගිය විට සිතේ. රහතන් වහන්සේට දැනෙන මහා විමුක්ති සුවය විඳින්නට ලෞකිය දේ මත ඇලීමක් අවශ්‍ය නොවේ. ප්‍රධාන බුමුතුරණත් රළු කළුගලත් රහතන් වහන්සේට එක සමාන නොවන්නේ ද

අද අක්කර 582 ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී පැතිරී ඇති මෙම අසිරිමත් පුදබිමට එදා අයත්ව තිබූ භූමිය කොතරම්දැයි කීමට කිසිවකුත් අසමත්ය. මිහින්තලයේ ඇති උසම ස්ථානයේ සිට වෙරදමා ගැසූ තම්මැට්ටමේ හඬ මොනතරම් දුරකට ඇසෙන්නට හැකිද? අන්න එම දුර මිහින්තලා පුද බිමට අයත්ව තිබූ බව කියැවේ.

භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් කළ නාග පොකුණ සිංහ පොකුණ, ධාන ශාලා උපෝසථාඝාර ආදි සකලවිධ විහාරාංගයන්ගෙන් සමන්විත මිහින්තලය ලංකාවේ බිහිවු ප්‍රථම ආරණ්‍ය සේනාසනය ලෙසද හඳුන්වා දිය හැක. බිම් මට්ටමේ ඇති ආරෝග්‍ය ශාලාව තුළ එදා සැත්කම් පවා සිදුවී තිබේ. කුඩා දරුවන්ට බේත් කළ කුඩා බේත් ඔරු පවා මෙහිදී දැකගත හැකිය. මිනිසාගේ අධ්‍යාත්මික සුවය පමණක් නොව ශාරීරික සුවයද සළසමින් සංකීර්ණ මොනතරම් නම් ගිහි මිනිසාගේ ජීවිත ගමන් මඟ හා බැදී තිබෙන්නට ඇද්දැයි මෙහි ඇති නටබුන් මතින් විද්‍යාමාන වෙයි. මෙහි ඇති මහා පුරාවිද්‍යාත්මක සංකේතයක් රජතුමා භික්‍ෂුන් වහන්සේ හා ගිහියා අතර වූ සහ බන්ධනයකට අගය කියාපාන මහා සාක්‍ෂි රාශියක් ඉතිරි කර තබා ඇත. ඒවා පිළිබඳ එකිනෙක විග්‍රහ කිරීමට ඇති ඉඩකඩ හරස් වී තිබේ. අතිශය පියකරු පියගැට එක්දහස් අටසිය ගණන ගණන් කිරීමට කෙනෙකුට අපහසු තරම් ය.

ඒ අසිරිමත් පිය ගැට පෙළ නැග සද්ධර්මය රැගෙන ආ මේ මිහින්තලය නම් ළය මඬල වෙත පිවිසෙන්නකුට දැනෙන සුවය වදනකට පෙරළිය නොහැකි යැයි සිතේ.

මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු දහස් ගණනක් රහතන් වහන්සේගේ සිල් සුවඳ මෙහි නිබඳ විකසිත වන නොයෙකුත් පුෂ්පයන් අතර තවමත් රැඳී තිබෙනවා. වැනිය. මව්බිමේ ළෙහි මඬලේ නාඩි වැටෙනා රිද්මය අසන්නට මිහින්තලයට එන්න. ඒ නාඩි වැටෙන හඬේ ගැබ්වී අත්තේ මිහිඳු මහරහතන් වහන්සේ ගේ පිවිතුරු මුවින් වදහළ බණ පදයක සුවදායක හඬය.

Categories

Different countries have visited this site

Free counters!