//

සිංහල අලුත් අවුරුද්ද

This tag is associated with 1 post

සූර්ය මංගල්‍යයේ හෙළ කත හොබවන තැන

සූර්ය මංගල්‍යයේ හෙළ කත හොබවන තැන

source link:

ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් ඈත අතීතයේ විසූ මිනිසුන් සොබා දහම හා පැවතියේ මහත්වූ බැඳීමකි. අද මෙන් එතරම් දියුණු නොවූ ඔවුහු සොබා දහමට අව්‍යාජ ලෙස මහත් සේ ඇලුම් කළෝය. අසීමිත ලෙස ගෞරව කළෝය. අසීමිත වූ ඒ ගෞරව භක්තිය නිසාම ඔවුහු සොබා දහමට වන්දනාමාන කළහ. ඒ සොබා දහමේ වූ අපූර්ව සංසිද්ධීන් ඔවුන්ට සෞභාග්‍ය උදාකළ නිසාය. ඉර, සඳ, අව්ව, වැස්ස, ඔවුන්ගේ ජීවන රිද්මය විය. ගොවිතැනින් ජීවත් වූ ඔවුහු ඒ තුළින් දෙවියන් දුටහ.

ගහ කොළට, සතා සිවුපාවන්ට මෙන්ම සමස්ථ මිනිස් වර්ගයාටම ජීවය දුන් සූර්යයා ඔවුන්ට හිරු දෙවියෝ වූහ. හෙළ ගොවියාට නිසි කළට වැසි ලබා ගැනීමට සඳ දෙවියෝත්, වැස්ස වළාහක දෙවියෝත් පිහිට වූහ. බක් මාසයේ පැවැත්වෙන හෙයින් බක් මහ උළෙල ලෙසත්, සූර්ය සංක්‍රාන්තිය හේතුකොට ගෙන සැමරෙන නිසා සූර්ය මංගල්‍ය ලෙසත් හැඳින්වෙන මෙම මහා ජාතික මහෝත්සවය සැමරීමට ඈත අතීතයේ සිට ම සිංහල ජනයා පුරුදුව සිටිති. සිංහල ජනයා මෙන්ම දෙමළ ජනයා ද තමන්ට ආවේණික වූ සිරිත් විරිත් අනුව යමින් මේ මහා මංගල්‍ය සමරති. ජාතීන් අතර එකමුතුව ඇති කරන මෙය හෙළයේ මහා ජාතික මහෝත්සවයයි.

සිංහල බෞද්ධයන් හා දෙමළ මිනිසුන් එක්ව සමරන අලුත් අවුරුදු චාරිත්‍රවල ඉතිහාසය 15 වැනි සියවස වන තෙක් දිවයයි. සූර්ය වන්දනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇති වී තිබේ. දොළොස් මසක් ගෙවී නව දොළොස් මාසයක කාලයක උදාව සනිටුහන් කරන දිනය, සිංහල අලුත් අවුරුදු දිනය ලෙස අපේ පැරැන්නෝ හැඳින්වූහ. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් පටන්ගෙන රාශි චක්‍රය වටා වටයක් ගොස් මීන රාශිය පසු කර යළි මේෂ රාශියට පැමිණේ යැයි ඔවුන් විශ්වාස කළෝය. මෙම සංක්‍රාන්තිය සමඟ නව වර්ෂයක් උදාවේ.

පැරැන්නෝ හිරු දෙවියෝ ඇදවූහ. එක් තැනක නොසිට ගමන් කරමින් හිරු චක්‍රයක ගමන් කරන බව ඔවුන්ගේ පිළිගැනීම විය. එය කොටස් 12කින් යුතු රාශි චක්‍රය විය. රාශි දොළහෙන් පළමුවැන්න මේෂ රාශියයි. එසේම දොළොස් වැන්න මීන රාශියයි. ඉරු දෙවියන්ට මේෂයේ සිට මීනයට ගමන් කිරීමට ගත වන කාලය අවුරුද්දකි. හිරු මීන රාශියට පැමිණි විට වසරක නිමාව වේ. එම අන්තිම දවස පරණ අවුරුද්ද ලෙස පැරැන්නෝ සැමරූහ. හිරු නැවතත් ක්‍රමයෙන් මේෂ රාශියට සම්පූර්ණයෙන් ම සංක්‍රාන්ති වීම හෝ පැමිණීම අලුත් අවුරුද්ද ලෙස සැළකූහ.

සූර්යයා මීන රාශියෙන් නව ගමනක් ඇරැඹීම සඳහා මේෂ රාශියට සංක්‍රාන්ති වීමට පැය කිහිපයක් ගතවේ. මේ කාලයේදී සූර්යයා සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතරතුර වන අතර මේ කාල පරාසය සූර්ය සංක්‍රාන්තිය ලෙස සැළකේ. මේ කාලය අලුත් අවුරුද්දටත් පරණ අවුරුද්දටත් අදාළ නැති කාල පරිච්ඡේදයක් ලෙස සැළකෙන නිසා ඒ කාලය සුබ නැකැත් නැති කාලයක් වන නිසා නො -නැකත වී පසුව කාලයාගේ ඇවෑමෙන් නොනගතය බවට පත්ව ඇත. නැකැත් නැති කාලය අසුබ, හානිකර කාලයක් ලෙස සැලකූ පැරැන්නෝ එම කාලය පුණ්‍ය කාලය ලෙස සැලකූහ.

කාලයත් සමඟ සමහර සංකරවීම් දක්නට ලැබුණත් අදටත් ශ්‍රී ලාංකිකයෝ අවුරුදු සිරිත් විරිත් අකුරටම පිළිපැදීමට උත්සුක වෙති. නගරබද කෙසේ වෙතත් ගම්බද ජනයා සූර්යය මංගල්‍ය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණ ඉහළින් අනුගමනය කිරීමට මහත් උත්සාහයක් දරති. අතිශය වාණිජකරණයට ලක් වූ පරිසරයක් තුළ වුවද මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් අනුගමනය කිරීම යම් පමණකට හෝ සමාජය තුළ තවමත් පැවතීම සතුටට කාරණයකි.

ගොවිතැන දිවිමඟ කරගත් සිංහලයාට භාග්‍යය ගෙන එන මාසය අප්‍රේල් මාසයයි. බක් මාසයේ සැමරෙන සූර්ය මංගල්‍යය හා සිරිත් විරිත් හා සාම්ප්‍රදායික චර්යා රටාවන් රැසක් වේ.

මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණක් වන්නේ සූර්ය මංගල්‍යය වකවානුවේදී හිරු දෙවියන් සඳ දෙවියන් මෙන්ම පත්තිනි දෙවියන් පිදීමට සිංහල බෞද්ධයෝ අමතක නොකිරීමයි. පත්තිනි දෙවියෝ සශ්‍රීකත්වයේ දෙවඟනයි. ඇය සත් පත්තිනි වශයෙන් ද ගැනෙති.

සිංහල අවුරුදු උදාවත් සමඟ සිංහල සමාජයේ විශේෂ තැනක් හිමිවන්නේ ගෘහණියන්ටයි. සිංහල කාන්තාවට වැදගත් කාර්යභාරයක් පැවරෙන්නේ සිංහල අවුරුදු කාලයේදීය.

විශේෂයෙන් නවීකරණයත් සමඟ නව පරපුරෙන් ගිලිහී යන පාරම්පරික අවුරුදු සිරිත් විරිත් ඉදිරියටත් රැකගනිමින් පෝෂණය කිරීමට කාන්තාවට සුවිශේෂී වගකීමක් සිංහල අවුරුදු උත්සව කටයුතුවලදී හිමිවේ. හෙළ සිරිතෙන්ම ආරම්භව හෙළ සිරිතෙන්ම අවසන් වන මෙම අසිරිමත් මංගල්‍යයේදී සිදුකරන වැදගත් චාරිත්‍රයක් වන්නේ තෙල්වළං ළිප තැබීමයි. මෙම චාරිත්‍රය නවීකරණයට ලක් වූ වත්මන් සමාජයෙන් ගිලිහී ගොස් ඇති චාරිත්‍රයක් වුවද මේ ක්‍රියාදාමයේදී මූලිකත්වය ලැබෙන්නේ හෙළ කතටයි. මෙය හුදකලා නොවූ සාමූහික සංසිද්ධියකි. ගමේ අත් ගුණය ඇතැයි සැළකෙන වැඩිහිටි කාන්තාවෝ කිහිපදෙනෙක් එකතුව තෙල් වළං ලිප තබති. අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙරෙන පළමු ලිප දැල්වීම මෙයයි. මෙහිදී පිසෙන කැවුම් “ඉඳුල් නොකර” මුට්ටිවල තබා කඩ වැස්මක් බැඳ වෙන්කර තබයි. අවුරුදු කුමාරයා වෙනුවෙන් ද, කැවුමක් වෙන් වෙයි. එසේම කෝඳුරු පංගුව යනුවෙන් ද වෙනමම කැවුමක් වෙන්කර ඉදිරිපස වහලයේ එල්ලා තබයි. අද දවසේ කලාතුරකින් දක්නට ලැබුණත් මෙය මුළුමණින්ම කාන්තා නායකත්වයෙන් සිදු වන චාරිත්‍රයකි.

එසේම අලුත් අවුරුදු උදාවට ප්‍රථම වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කොට ගේ දොර මකුළුදැල් කඩා පිස දමා පිරිසිදු කර දොර ජනෙල් රෙදි කිළිටි ඇඳුම් ආදිය සෝදා සියල්ල පිරිසිදු කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරන්නේ ගෙදර ගෘහණියගේ අධීක්ෂණයෙනි. පැරණි වැඩිහිටියන්ගේ තවත් විශේෂ චාරිත්‍රයක් වූ නැකතට පෙර ලිප (දර ලිප) ශුද්ධ කර අළු සහ කුණු රොඩු සියල්ල ඉවත් කිරීම සිදු කරන්නේ ද කාන්තාවයි. මෙසේ එකතු කරන කුණු රොඩු එක්වරම ගෙයින් පිටතට නොදමා ඊට අදාළ චාරිත්‍ර රැසක් අනුගමනය කිරීමට ද ගෘහණිය වග බලා ගනී.

එසේම සිංහල අලුත් අවුරුද්දේ මුඛ්‍ය පරමාර්ථ වන සහෘද බව, ළෙන්ගතු බව, මවුපිය දූදරු සබඳතාව, නංවාලීම් ආදිය ඉෂ්ට සිද්ධ කරගැනීමේදී සිංහල කාන්තාව මහත් පරිශ්‍රමයක් දරයි. එසේම අලුත් අවුරුද්දේ සුවිශේෂී කටයුත්තක් වන නැකතට ලිප ගිනි මෙළවීම සම්පූර්ණනේම සිදු කරන්නේ කාන්තාවයි. අතීතයේ නොදියුණු මානව යුගයේ පැවැති ගින්නට පුද පූජා පැවැත්වීමේ චාරිත්‍රය පරිණාමය වී අවුරුදු චාරිත්‍ර අතරට එක් වූ නැකතට අනුව ගිනි මෙළවීම සිදු කෙරෙන්නේ ගෙදර අම්මා හෝ අත්තම්මා අතිනි.

එසේම සූර්ය මංගල්‍යය හා ඈඳුන හෙළ ජන ක්‍රීඩා බොහෝමයක් ස්ත්‍රී මූලික ක්‍රීඩා වේ. සමාජ සමෘද්ධිය, සහජීවනය හා සහෝදරත්වය පිළිබිඹු කෙරෙන සිංහල අලුත් අවුරුදු සමයේ කරළියට එන ජන ක්‍රීඩා අති විශාල ප්‍රමාණයක් ඇතත් වත්මනේ අප ජන සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඉන් අතළොස්සකි. පංච කෙළිය, ඔලිඳ කෙළිය, ඔන්චිලි පැදීම, රබන් වැයීම, කළගෙඩි සෙල්ලම ආදිය සඳහා කාන්තා සහභාගිත්වය අත්‍යවශ්‍ය වෙයි.

සිංහල අවුරුදු කාලයේදී ගේ දොර පිරිසිදු කිරීමේ සිට කෑම වර්ග පිළියෙළ කිරීම, නැකතට අනුව ළිප ගිනි මෙලවීම හා ආහාර අනුභවය ආදී සෑම කර්තව්‍යයකදීම නායකත්වය ගැනීමට අතීතයේ සිට සිංහල කාන්තාව සමත් වී ඇත. එපමණක් නොව අවුරුදු සමයේ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීම, ඔවුන් වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම ඇතුළු බොහෝ කාර්යයන් හෙළ කාන්තාවෝ අතින් සිදු කෙරෙති.

අතීතයේ දී හෙළ කාන්තාවෝ සෑම දෙයකටම දක්ෂතා දැක්වූහ. නගරබද මේ තත්ත්වය වෙනස් වුවද වර්තමානයේ ද ගැමි කාන්තාව ඉහත නිපුණතා දක්වයි. දෑතේ හුරුව නැති කාන්තාව එදා සමාජයේදී හෑල්ලුවට ලක් විය. ඒ නිසාම කාන්තාව නිරන්තරයෙන්ම කුසලතා පිරි ගෘහණියක්ම වූවාය.

නවීකරණයත් නාගරීකරණයත් හමුවේ අවුරුදු චාරිත්‍ර වෙනස් වීමට හා පරිහාණියට පත්විය ඛ්ැක. එහෙත් අවුරුදු සිරිත් විරිත් රැකීමේ දී හෙළ කතට හිමි තැන හා භූමිකාව අහිමි නොවනු ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය

 

Categories

Different countries have visited this site

Free counters!